නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විද්‍යාඥයෝ



නොබෙල් ත්‍යාගය ලෝකයේ දක්ෂයන්ට පිරිනැමෙන සම්මාන අතුරින් ඉතා විශිෂ්ටතම සම්මානය විදිහට සලකන්න පුළුවන්. නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘ විදිහට සැලකෙන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහත්මයා. ඔහු ලෝකයට නොයෙකුත් නවෝත්පාදන දායාද කළත් ඒ සියල්ල අභිබවා විනාශකාරී  ඩයිනමයිට්වල  නිර්මාතෘ විදිහටයි ලෝකය ඇල්ෆ්‍රඩ්ව හඳුනාගත්තේ. ඉතින් ඒ අපවාදයෙන් මිදෙන්නට ඕන වුණු නිසා ඔහු කළේ තමන්ගේ අන්තිම කැමති පත්‍රයේ තමන්ගේ බූදලයෙන් වැඩි කොටසක් යොදවා ලෝකයේ යහපත සඳහා නොයෙකුත් සොයාගැනීම් වල යෙදෙන අයට ඇගයීමක්  කරන්නට මුදල් වෙන් කරපු එකයි. ඒ විදිහට තමයි නොබෙල් ත්‍යාගය  ලෝකයට මුලින්ම බිහි වුණේ. ඉතින් අතීතයේ සිටම අද දක්වා මුළු මහත් ලෝකවාසී ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් නොයෙකුත් අත්හදා බැලීම් කරමින් තමන්ගේ මුළු ජීවිතයම විද්‍යාව වෙනුවෙන් කැප කරපු විද්‍යාඥ​යෝ බොහෝ දෙනෙක් මේ ලෝකයේ ඉන්නවා. ඉතින් ඒ අයට මේ වගේ සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනමන එක ඉතාම වටින දෙයක්. ඉතින් මේ සම්මානයෙන් පිදුම් ලබපු විද්‍යාඥයින් කිහිපදෙනෙක් ගැන ඔයාලට විස්තර කියන්නයි අපි අද ලෑස්ති වෙන්නෙ.  

 

 

1. මාරි කියුරි

ලෝක ඉතිහාසයේ වගේම නොබෙල් ත්‍යාග ඉතිහාසයේත් මාරි කියුරි කියන නම ඉතාම විශේෂ නමක් බව ගොඩක් දෙනෙක් දන්නවා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි නොබෙල් ත්‍යාග දෙකක් දිනාගත් එකම කාන්තාව මාරි කියුරි වීම සහ එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාග දෙකක් දිනූ එකම පුද්ගලයා මාරි කියුරි වීම. මාරි කියුරි ඉපදුණේ 1867 නොවැම්බර් 7 වෙනිදා පෝලන්තයේ. වැඩි දුර අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රංශයට සංක්‍රමණය වුණත් ඇගේ පෝලන්ත ජාතිකත්වය කියුරි කවදාවත් අමතක කළේ නෑ. ඇය විසින් ප්‍රථමයෙන් සොයාගත් රසායනික මුලද්‍රව්‍යය පොලෝනියම් විදිහට නම් කළෙත් ඒ නිසයි. ඒ වගේම 1898 දී ඇය සහ ඇයගේ සැමියා වුණු පියරේ කියුරි දෙන්නා තවත් මුලද්‍රව්‍යයක් සොයාගන්නවා. ඒ රේඩියම්. ඉතින් 1903 අවුරුද්දේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය තුනට බෙදල මාරි කියුරි සහ පියරේ කියුරිට බාගයකුත් ඒ සම්බන්ධවම පර්යේෂණ කරපු තවත් විද්‍යාඥයෙකුටත් පිරිනමනවා. හැබැයි මේ විකිරණ එක්ක කරපු ගනුදෙනුව නිසා කියුරි පවුලේ බොහෝදෙනෙක් පිළිකා වලට ගොදුරු වෙලා අකාලයේ මරණයට පත් වෙලා තියෙනවා. නැවත 1911 දීත් රසායන විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.

 

 

2. ඇල්බට් අයින්ස්ටයින්

ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙ ලෝකය පුරාම අතිශය ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. විසිවැනි සියවසේ පහළ වුණු මහා ප්‍රාඥයා විදිහට තමයි ඇල්බට් අයින්ස්ටයින්ව හඳුන්වන්නෙ. කුඩා කාලයේ දක්ෂ දරුවෙක් නොවුණු ඇල්බට් තමන්ගේ උත්සාහයෙන් විද්‍යාව ගැන තිබුණු ආසාව නිසා ලෝකයේම ප්‍රසිද්ධ වුණු චරිතයක්. ඇල්බට් උපත ලැබුවේ 1879 මාර්තු 14 වෙනිදා, ජර්මනියේ. ඉතාම සාමාන්‍ය පවුලක ඉපදුණු ඇල්බට් ඉතාම දුර්වල දරුවෙක් විදිහටයි පාසලේ ගුරුවරු පවා සැලකුවේ. හැබැයි කොහොමහරි වයස 26 දී භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය පවා ලබාගන්න තරම් ඇල්බට් දක්ෂ වෙනවා. ඔහු විසින් නොයෙකුත් භෞතික විද්‍යා න්‍යායන් ලෝකයට හඳුන්වා දුන්නා. ඒ හඳුන්වා දීපු මුලධර්ම සහ Photoelectric Effect නීතිය සොයාගැනීම වෙනුවෙන් ඔහුට 1921 දී භෞතික විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය ප්‍රදානය කෙරෙනවා. 

 

 

3. විල්හෙල්ම් කොන්රඩ් රෝන්ට්ගන්

නමින් බොහෝ දෙනෙක් අඳුනන්නේ නැති වුනාට ලෝකයටම වැදගත් සොයාගැනීමක් කරපු විද්‍යාඥයෙක් තමයි විල්හෙල්ම් රෝන්ට්ගන් කියන්නෙ. කවුරුත් දන්නා එක්ස් කිරණ පිළිබඳ සොයාගැනීම කළේ මෙතුමා තමයි. විල්හෙල්ම් මහත්මයා වෘත්තියෙන් යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් වගේම භෞතික විද්‍යාඥයෙක් විදිහට තමයි කටයතු කළේ. 1845 මාර්තු 27 වෙනිදා ජර්මනියේ තමයි මෙතුමා ඉපදිලා තියෙන්නෙ. මෙතුමාගේ මේ එක්ස් කිරණ සොයාගැනීම වෙනුවෙන් 1901 දී භෞතික විද්‍යාව වෙනුවෙන් වෙන් වුණු නොබෙල් ත්‍යාගය පිරිනැමෙනවා. ඒ වගේම තවත් අගය කිරීම් සහ සම්මාන බොහොමයක් ඔහුට මේ සොයාගැනීම වෙනුවෙන් ලැබෙනවා. අදටත් අපි එක්ස් කිරණ භාවිතා කරලා කොච්චර නම් ප්‍රයෝජන ගන්නවද මෙතුමාට පින් සිද්දවෙන්න. 

 

 

4. වර්නර් හෙයිසන්බර්ග්

ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයෙක් වෙන වර්නර් හෙයිසන්බර්ග් උපත ලැබුවේ 1901 දෙසැම්බර් මාසේ 5 වෙනිදා. විශේෂයෙන් මෙතුමාව බොහෝ දෙනෙක් අඳුනන්නේ ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ පුරෝගාමියෙක් විදිහට. භෞතික විද්‍යාවට අදාළ මූලධර්ම රාශියක් මෙතුමා විසින් හඳුන්වලා දීල තියෙනවා. විශේෂයෙන් ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවට අදාළ අවිනිශ්චිතතා මූලධර්මය ඒ අතරින් විශේෂයි. මේ විදිහට ක්වොන්ටම් විද්‍යාව වෙනුවෙන් කරපු සේවය වෙනුවෙන් 1932 දී භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයෙන් මෙතුමා පිදුම් ලබනවා.

 

 

5. ජෝන් බර්ඩින්

ජෝන් බර්ඩින් කියන්නෙත් නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගත්තු ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයෙක්. මෙතුමා 1908 මැයි 23 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ තමයි උපත ලැබුවේ. පළවෙනි නොබෙල් ත්‍යාගය දිනාගත්තේ ට්‍රාන්සිස්ටරය සොයාගැනීම හේතුවෙන් 1956 දී. නැවත 1972දී තවත් විද්‍යාඥයින් දෙදෙනෙකු එක්ක කරපු පර්යේෂණයක් මගින් Superconductivity න්‍යාය (BCS න්‍යාය) හඳුන්වාදීම වෙනුවන් ඔහුට සම නොබෙල් ත්‍යාගය පිරිනැමෙනවා. 

 

 

6. ජැක් කිල්බි

අපි අද කාලයේ ගොඩක් තාක්ෂණික මෙවලම් වලට පාවිච්චි කරන මයික්‍රෝ චිප් එකේ නිර්මාතෘ තමයි ජැක් කිල්බි. ජැක් ඇමරිකානු ජාතික ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයෙක්. තමන්ගේ රැකියාවේ කටයුතු කරන ගමන්ම තමයි ඔහු තමන්ගේ අත්හදාබැලීම් සියල්ල සිදු කළේ. ඉතින් මයික්‍රෝ චිප් එක සොයාගැනීම සිද්ධවෙන්නෙත් ඒ අතරේ. ඒ වෙනුවෙන් තමයි ඔහුට 2000 වර්ෂයේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමි වෙන්නෙ. 1923 ඉපදුණු ජැක් 2005 අවුරුද්දේ මිය යනකොට තමන්ටම කියල පේටන්ට් බලපත්‍ර නමයක් හිමිකරගෙන හිටියා.

 

 

7. ජෝර්ජ් ඊ. ස්මිත්

1930 මැයි මාසේ 10 වෙනිදා එක්සත් ජනපදයේ උපත ලබපු ජෝර්ජ් කියන්නෙ වෘත්තියෙන් භෞතික විද්‍යාඥයෙක්. මුල් කාලීන ඩිජිටල් ජායාරූපකරණයේදී ගොඩක්ම ප්‍රයෝජනවත් වුණු CCD සෙන්සරය සොයාගැනීම සිදු කළේ ජෝර්ජ් ස්මිත් සහ තවත් ඔහුගේ සමකාලීනයෙක්. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාටම 2009 අවුරුද්දේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමි වුණා. 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post