විහාරයේ ඇති පුරාවස්තු අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පරිත්‍යාග කළ පාත්‍රයක් ද පැරණි ඇත්දළ යුගළක් ද දැකගත හැකි යි. ලෙන් විහාර ගෙට ඇතුළුවන විට ම  දකුණු අත පැත්තේ ඇති දෝලාව ලෙව්කේ දිසාව විහාරයට පූජා කළ එකක් බව පැවසෙනවා.  එවකට විහාරාධිපති හිමිවරුන් උපසම්පදාව ලබා වැඩම කරවන ලද්දේ එම දෝලාවෙන් බව පැවසෙනවා.

විහාරයේ පැරණි දොරටු- ලස්සන ලංකා facebook page

 කරල් පෙරහර

දුරුතු පෝය දින  මෙම රජ මහා විහාරයේ අලි ඇතුන්ගෙන් සමන්විත මහා පෙරහරක් පැවැත්වෙනවා.  විහාරයට අයත් අන්දරගහ කුඹුරට මහ පෙරහරින් ගොස් එහි අලුත් ගොයම් කරල් කපා ඒවා පෙරහරින් ගම වටා ගෙන යාම සිදුවෙනවා.

පෙරහර පිටත්වීම දැනුම් දෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පරිත්‍යාග කළ බව පැවසෙන කාලතුවක්කුව පත්තු කිරීමෙන්. දැවයෙන් පිටුපස කොටස  නිමවා ඇති කාලතුවක්කුව   කිලෝ තිහක් පමණ බර යි.

 සැතපෙන බුද්ධ ප්‍රතිමාව - ලස්සන ලංකා facebook page

මේ දුරුතු පෙරහරේ විශේෂත්වය වන්නේ කරල් කුමාරයා යි. ප්‍රදේශයේ  දරුවකු මේ සඳහා තෝරා ගන්නේ රජදවස සිට රජු පිළිබිඹු කිරීම සඳහා යි. හේවිසි කණ්ඩායම්, පෙරටුකර මහා සංඝරත්නය හා කරල් නෙළන කුමාරයා ලියද්දට කැඳවා ගෙන ගොස් සෙත් පිරිත් මැද  පිරිත් පැන් ඉස කරල් නෙළා ගන්නවා.

කරල් මිටිය සුදු පිරුවටයකින් ඔතා බන්දේසියක තබා අවට කුඹුරුවල නෙළන කරල් ද ගොවීන් එහි ම තබා බන්දේසිය කුමරු අතින් ගෙන හස්තියකු පිට මතින් ගෙන පෙරහරෙන්ම ගමන් කෙරෙනවා.  සීතාවක, අවිස්සාවේල්ල, තල්දූව යන මාර්ගවල වීදි සංචාරය කර පෙරහර විහාරයට ගෙවදීමෙන් පසු පෙරහරින් ගෙනා කරල් බන්දේසියේ අග්‍ර කොටස් ගෙන ”නියපිටින්” සහල් බවට පත්කර බුද්ධ පූජාව පිළියෙළ කර දහවල් කීර්ති ශ්‍රී රජු පූජාකළ පාත්‍රයට බුද්ධ පූජාව තැන්පත් කර බුදුන්ට පූජා කිරීම සිදුවෙනවා. 

නිදන් හොරු

මෙහි ඇති ප්‍රතිමා සමහරක් කැඩී බිඳී ගොසින් ඇත්තේ නිදන් හොරුන්ගේ අතවර නිස යි. මානියම්ගම ලෙන කිහිප වරක් ම නිදන් හොරුන්ගේ විනාශයට ලක් වූ ස්ථානයක්. මේ නිසා  ඓතිහාසික වටිනාකමින් අනූන බොහෝ පුරා වස්තූ අහිමි වී ගොස් තිබෙනවා.

කවරයේ ඡායාරූපය -මානියගම්ගම ලෙන් වෙහෙර -අසිරිම් සබරගමුව facebook page

මූලාශ්‍ර:

lankadeepa.lk

Budusarana.lk

සීතාවක උරුමය-  සංස්. ප්‍රිශාන්ත ගුණවර්ධන, ගාමිණී අධිකාරි

ඓතිහාසික සීතාවක- රිසිමන් අමරසිංහ