මෑත කාලයේ ලංකාවේ ජනප්‍රිය වුණු සුන්දර ස්ථාන

 


කාලෙකට කලින් අපේ රටේ මිනිස්සු විනෝද චාරිකා විදිහට යන්න පුරුදු වෙලා තිබ්බේ වන්දනා ගමනක් විතරයි. හැබැයි දැන් මේ තත්ත්වේ කෙමෙන් කෙමෙන් වෙනස් වෙමින් පවතිනවා. ගොඩක් වෙලාවට තමන්ගේ විවේකය ගත කරන්න අපේ සුන්දර ස්ථාන ගවේෂණය කරන එක දැන් රැල්ලක් බවට පත්වෙලා තියෙනවා. මුල්කාලයේදී පරිසරයට ආදරය කරන උදවිය පමණක් පෙළඹිලා තිබ්බ පරිසරය ගවේෂණය කිරීමේ චාරිකා අද වෙනකොට ෆන් ගන්න යන ගමන් බවට පත් වෙමින් තිබීම කණගාටුවට කරුණක්. අපි අද කතා කරන්න යන්නේ මේ විදිහට මෑත කාලයේදී ජනප්‍රිය වුණු ගමනාන්ත කීපයක් පිළිබඳව.

 

1. පහන්තුඩාව ඇල්ල 

කොළඹ – බදුල්ල මාර්ගයේ බෙලිහුල්ඔය තානායම අසල  පිහිටලා තියෙන මේ සුන්දර දිය ඇල්ල මෑත කාලයේ ප්‍රසිද්ධ වුණේ කුමන හේතුව හින්දද කියන එක ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕන නැහැයි කියලයි අපි හිතන්නේ. හාවාගල කඳු මුදුනින් ඇරඹෙන මෙම දිය ඇල්ලේ වතුර වැටෙන ආකාරය පහන් තුඩක ආකාරයට දිස් වන නිසා ඒ නම ලැබුණ බව කියවෙනවා.

 

 

2. කොකනට් හිල්

මිරිස්ස ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම සුන්දර බිම් කඩ වඩාත්ම ජනප්‍රියත්වයට පත් වුණේ ඡායාරූප ගැනීමට සුදුසු ස්ථානයක් ලෙසටයි. මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුහුදට නෙරා ගිය මෙම බිම්කඩෙහි සිට ඡායාරූප ගැනීම උන්මාදයක් තරමට දුර දිග ගියා. නමුත් මීට කලකට පෙර මෙම ප්‍රදේශය පෞද්ගලික ඉඩමක් වීම නිසා එහි කොටසක් සංවර්ධනය කිරීමට එක් අයිතිකරුවෙකු විසින් කටයුතු කර තිබුණා. ඊට දැඩි ලෙස සමාජ මාධ්‍ය වල විරෝධයක් එල්ල වුණා.

 

3. පැට්නා

දෙනියාය ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම සුන්දර ස්ථානය මෑත කාලයේදී අතිශයින් දේශීය සංචාරකයන් අතර ජනාදරයට පත් වුණු ස්ථානයක්. තේ වත්තක් මැද පිහිටා තිබෙන ගලක් මත සුළු දිය දහරාවක් ගලා යන මේ ස්ථානයේ විශේෂත්වය වන්නේ සංචාරකයන් හට ඒ ගල මතුපිටින් ලිස්සා යෑමට හැකියාව ලැබීමයි. එය බොහෝ ආශ්වාදජනක අත්දැකීමක් බව බොහෝ දෙනෙක් පවසා තිබෙනවා. නමුත් මේ ප්‍රදේශයට යන පිරිස් විසින් පොලිතීන් ආදිය දමා ඒම නිසා පැට්නාහි සුන්දරත්වයට දැඩි ලෙස හානි සිදු වනවා.

 

 

4. බළන්ගොඩ හුණුගල් පොකුණ

ඉතා මෑතකදී මෙම ස්ථානය පිළිබඳව තොරතුරු සමාජ මාධ්‍ය වලින් හෙළි වූ අතර එහි ප්‍රතිඵලය වූයේ සංචාරකයන් ඒ වෙත යාමට උත්සාහ කිරීමයි. බළන්ගොඩ රජවක රක්ෂිතයේ කොටසක්ව පවතින මෙම හුණුගල් පොකුණු පද්ධතියේ ආරක්ෂාව මේ නිසා අනතුරේ වැටී ඇති බව වටහාගත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්පසුව මෙම ප්‍රදේශයේ සංචාරය කිරීම තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා.

 

 

5. මීමුරේ 

“සූරිය අරණ” චිත්‍රපටයේ රූගත කිරීම් නිසා මීමුරේ ගම ලංකාව පුරා අති මහත් ප්‍රසිද්ධියට පත් වුණා. ඉන් පසුව බොහෝ  සංචාරක කණ්ඩායම් මීමුරේ ගම වෙත ඇදුණු අතර ඔවුන් විසින් එහි කඳවුරු බැඳීමට  ප්‍රිය කළා. ඇතැම් පාර්ශව මේ නිසා ගමේ නිහඬ ජීවිතයට යම් හානියක් සිදු වුණු බව කියතත් ගමේ දියුණුවටත් සංචාරකයන්ගේ පැමිණීම විශාල පිටුවහලක් වුණා.

 

 

6. මීයන් ඇල්ල

මීයන් ඇල්ල අද වන විට දිය සීරා දෙකක් ලෙස ගලාගෙන ගියත් අතීතයේදී එය තනි දියඇල්ලක් වුණා. උඩරට දුම්රිය මාර්ගය සැකසීමේදී එම දියඇල්ල බාධාවක් වීම නිසා ඉංජිනේරුවන් විසින් ගල් බැම්මක් තනා මීයන් ඇල්ල දෙපළු කිරීමට කටයුතු කළා. කෙසේ නමුත් දිගින් දිගටම මීයන් ඇල්ල හරහා සිදුවන බලපෑම නිසා පසුව දුම්රිය මාර්ගය සඳහා බිම්ගෙයක් සැකසීමට තීරණය කෙරුණා. අද වන විට මීයන් ඇල්ල සහ මෙම බිම්ගෙය දේශීය සංචාරකයන් අතර  අතිශය ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව තිබෙනවා.

 

 

7. පිදුරංගල 

සීගිරිය ආශ්‍රිතව පිහිටා තිබෙන පිදුරංගල පුදබිම චිරාත් කාලයක පටන් බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වුණු පූජාස්ථානයක්. නමුත් මෙම ස්ථානය දේශීය සහ විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය වූයේ එම  පර්වතය මතට නැග සීගිරිය දෙස බලා ඡායාරූප ගැනීමට සුදුසු ස්ථානයක් ලෙසටයි. එහිදී නිරුවතින් ඡායාරූප ගත් තරුණයන් පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග පවා ගනු ලැබුවා.

 

එහෙම නම් ඉතින් මේ වගේ තවත් සුන්දර ස්ථාන ගැන ඔබ දන්නවා නම් ඒ ගැන කමෙන්ට් එකකින් කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කැමතිනම් ඒ ස්ථානවල ඔබ ලබාගෙන තිබෙන ඡායාරූපත් අපිත් එක්ක බෙදා ගන්න.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post