එළවළු කියලා හිතුවට එළවළුම නොවන පළතුරු 7ක්

 


ඔයාලා කවදාවත් හිතන්නෙ නැති, එළවළු කියලා හිතාගෙන ඉන්න ඒත් ඇත්තටම පළතුරු හැටියට සැලකෙන ඒවා ටිකක් ගැන විස්තර කියන්නයි අද ආවෙ. මේවා කුස්සියට නම් එළවළු තමා. ඒත් විද්‍යාත්මකව ගත්තම මේ ඔක්කොම පළතුරු විදියට තමා සළකන්නෙ. එහෙනම් කියවලා බලන්නකො.

 

1. තක්කාලි 

ගොඩක් වෙලාවට එළවළුවක් කියලා පටළගන්න ප්‍රධාන වර්ගයක් තමයි මේ. අපි හොදි, මාළුපිණි රසවත් කරන්න මේ තක්කාලි යොදාගත්තට Solanaceae පවුලෙන් පැවත එන තක්කාලි සැබැවින්ම පළතුරක්. උද්භිද විද්‍යාඥයන්ට අනුව මේක පළතුරක් ලෙස හැඳින්වුවත් ඇමරිකාවේ අධිකරණ නීතියකින් එළවළු මිල ගණන් ඉහළ නැංවූ අවස්ථාවේ තක්කාලි හැඳින්වූයේ එළවළුවක් ලෙසයි. ඒ වගේම පෝෂණවේදීන්ට අනුවත් මේක එළවළුවක්. තක්කාලි සැබැවින්ම කුස්සියට එළවළුවක් උනත් උද්භිතව තක්කාලි වල තියන ඇට නිසාත් ඒවා හට ගන්නේ මල් වලින් නිසාත් මේක උද්භිද විද්‍යාත්මකව පළතුරක්.

 

2. ගර්කින්

පිපිඤ්ඤා වල එක ප්‍රභේදයක් වන ගර්කින් උද්භිද වර්ගීකරණයට අනුව සැලකෙන්නෙ පළතුරක් විදියට. පිපිඤ්ඤා කියන්නෙ cucurbitaceae කුලයෙන් එන ශාකයක්. මේ කුලයටම අයිති කොමඩු හා කැන්ටලූප් පළතුරු විදියට හඳුන්වන නිසාත්, පිපිඤ්ඤාවල තියන පොඩි ඇට හා මේවා හටගන්නෙ මල් වලින් කියන කාරණය නිසාත් ගර්කින් හඳුන්වන්නෙත් පළතුරක් විදියටම තමා. 

 

3. බෙල් පෙපර්

සොලනේසී පවුලට අයිති මේ පෙපර් වලට ප්‍රභේද ගොඩක් අයත් වෙනවා. උද්භිද නාමයෙන් පෙර කිව්ව විදියට ඇට තිබීමත් මේවා හටගන්නෙ මල් වලින් නිසාත් පළතුරු විදියට සළකනවා. සැලඩ් වලට, කරි එකක් විදියට, සයිඩ් ඩිශ් එකක් විදියට බෙල්පෙපර් පාවිච්චි කළත් ඇත්තෙන්ම මේක පළතුරක්. මොකද උද්භිත විද්‍යාත්මකව පළතුරක් විදියට හඳුන්වන්නෙ ප්‍රධාන බීජයක් සහිතව (ඩිම්බකෝශයෙන්) වර්ධනය වන බීජ දරණ ශාක වලටයි. හැබැයි කුස්සියට නම් මේක එළවළුවක්. 

 

4. වට්ටක්කා

වට්ටක්කා කියන්නෙ ලාංකික අපේ ජනප්‍රිය එළවළුවක්. මේක කරි එකක් විදියට, සුප්, තම්බලා මේ ඕනම විදියකට කන්න පුළුවන්. හැබැයි මෙහෙම එළවළුවක් විදියට තිබ්බට මේකත් ඇත්තටම පළතුරක් විදියට තමයි හඳුන්වන්නෙ. මේ වට්ටක්කාවලත් බීජ තියනවා. වට්ටක්කා කියන්නෙ සෑහෙන්න ගුණ කෑමක්. එළවළුවක් උනත් පළතුරක් උනත් නිතරම කෑමට එක්කරගන්නව නම් සෑහෙන්න වටිනවා. 

 

5. සුකිනි

 

Cucurbitaceae පවුලටම අයත් ගොඩක්ම සැලඩ් වලට ගන්න මේ සුකිනි උද්භිද විද්‍යාත්මක පදනමින් ගත්තම පළතුරක් විදියට හඳුන්වනවා. ඒකට ඉහතින් කිව්ව කරුණුමයි බලපාන්නෙ. එළවළු විදියට පාවිච්චි කළත් පළතුරු විදියට පාවිච්චි කළත් සුකිනි කියන්නෙ විටමින් වලින් පරිපූර්ණ කෑමක්. සතියකට වතාවක්වත් ආහාර වේලට එකතු කරගන්න ඕන රසවත් ආහාරයක්. 

 

6. කෝන්

කෝන් නැත්නම් ඉරිඟු පළතුරක් කියලා ඔයා විශ්වාස කරනවද? මේක ධාන්‍ය ගුණය පිරි පළතුරක්. කුස්සියට නම් අපි කෝන් එක එක විදියට පාවිච්චි කරනවා. මේක එළවළු හෝ ධාන්‍ය වර්ගයක් කියලා කිව්වට විද්‍යාත්මකව නම් පළතුරක් විදියටයි හඳුන්වන්නෙ. මේක සාමාන්‍ය ජීවිතයෙදි පළතුරක් කියල කොහෙත්ම භාවිතා නොවුණත් ඉතින් උද්භිද විද්‍යාත්මකව නම් අර කලින් කිව්ව විදියට තමා පිළිගන්නෙ. කෝන් කියන්නෙත් පෝෂණය සහ ශක්තිය නොඅඩුව අපිට සපයන කෑමක් නිසා මේකෙ උපත එළවළුද ධාන්‍යද පළතුරක්ද කියල නොහිතාම කෑමට එක් කරගන්න ඕනෙ ඔන්න. 

 

7. බණ්ඩක්කා 

ෆයිබර්, පොටෑසියම්, විටමින් සී අඩංගු බණ්ඩක්කා එළවළුවක් නෙමෙයි කිව්වොත් නම් ටිකක් අවුල් වගේ නේද? ඔව් ඒක ඉතින් විද්‍යාත්මක පදනමින් ගත්තම පළතුරක් කියලයි සඳහන් වෙන්නෙ. ඉතින් ඔයාලා හීනෙක්වත් හිතන්නෙ නෑ නේද බණ්ඩක්කා පළතුරක් වෙයි කියලා. අස්ථි වල සෞඛ්‍යයට වැදගත් පෝෂ්‍ය පදාර්ථ සපයන බණ්ඩක්කා එළවළුවක් නෙවෙයි පළතුරක්නෙ කියල හිතල නොගෙන නම් ඉන්න එපා. 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post