උගත්කම් අතින් ඉහළින් ඉන්න ශ්‍රී ලාංකික නළු නිළි​යෝ (1 කොටස /2 කොටස)



පහු ගිය දවස්වල ඉදිරිපත් වෙච්ච මැතිවරණ ලයිස්තු නිසා නළු නිළියන්ගේ උගත්කම් ගැන ආපහු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ සමග වියත් මග සාමාජිකයන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යයි කියලා තිබ්බ බලාපොරොත්තුව සුණු විසුණු වෙලා, ඕෂධී හේවාමද්දුම, උද්දික ප්‍රේමරත්න වගේ නළු නිළියන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා මේ අය කිසිම උගත්කමක් නැති අය විදිහට හංවඩු ගහලා බැණ වැදීම් සුලභව සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපේ සමාජයේ තියෙන මතයක් තමයි, නළු නිළි වෘත්තීයේ යෙදෙන්නේ දේශපාලනඥයෝ වගේම කිසිම උගත්කමක් නැති පිරිසක් කියලා. මේ නිසා අපි හිතුවා ලංකාවේ අධ්‍යාපන මට්ටමෙන් ඉහළටම ගිය නළු නිළියන් කිහිපදෙනෙක් ගැන කතා කරන්න.

 

1. අයිරාංගනී සේරසිංහ 

සිංහල සිනමාවට සම්බන්ධ වුණු උපාධියක් හිමි පළමු නිළිය වෙන්නේ අයිරාංගනී සේරසිංහයි. හැමෝම දන්න පරිදි ඇය රදළ පවුලකට අයිති තැනැත්තියක්. මේ නිසාම ඇගේ පවුලෙන් ඇයගේ උසස් අධ්‍යාපන කටයුතුවලට නම් එතරම් සහයෝගයක් ලැබෙන්නේ නෑ. නමුත්  තරුණ කාලයේදී දැඩි ලෙස හිතුවක්කාර තැනැත්තියක් වුණු ඇය ඒ සියලු විරෝධතා සත පහකට ගණන් ගන්නේ නැතුව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී කලා උපාධිය නිමා කිරීමෙන් පස්සෙ ඇය නවතින්නේ ලන්ඩනයේ. ඒ නාට්‍ය හා රංග කලාව හදාරන්න. මේ නිසා සිංහල සිනමාවට සම්බන්ධ වුණු පළමු උපාධියක් හිමි කාන්තාව ඇය වෙනවා වගේම රංගනය පිළිබඳව හැදෑරීමකින් අනතුරුව සිනමාවට සම්බන්ධ  වුණු පළමු නිළිය විදිහටත් ඇයව හඳුන්වන්න පුළුවන්.

 

2. නදීකා ගුණසේකර 

නදීකා ගුණසේකර කියන විදිහට ඇගේ පියාට ලොකු ආශාවක් තිබිලා තියෙනවා තමන්ගේ දුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගන්නවට. ඒ බලාපොරොත්තුව සඵල කරමින් නදීකා කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා කලා උපාධියක් හදාරනවා. විශේෂත්වය වන්නේ ඇගේ සිනමා ජීවිතයේ බොහෝ විශිෂ්ට නිර්මාණවලට ඇය සම්බන්ධ වෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගන්න ගමන්. ඇගේ රංගන කටයුතුවලට සමකාලීන විශ්ව විද්‍යාල සගයන් සුවිශාල සහයෝගයක් ඇයට ලබා දෙනවා. ඒ වගේම ඇය කියන විදිහට නවක වධ කාලසීමාව ඇයට පසු කරන්න හැකියාව ලැබෙන්නේ තවත් සිනමා නිර්මාණයකට දායක වෙන්න සිදුවීම හින්දා. මේ නිසා ඇයට විශ්වවිද්‍යාල කාලය තුළදී කිසිදු ගැටළුවකට මුහුණ දෙන්න වෙන්නේ නෑ. 

 

3. දුලීකා මාරපන 

දුලිකා මාරපන වේදිකා නාට්‍ය නිළියක් විදිහට ලංකාව අඳුරගන්නේ විශ්වවිද්‍යාලයේ ගත කරපු කාලය තුළදී. ඇයත් බිහිවන්නේ කැලණිය විශ්ව විද්‍යාලයෙන්. එහි දී ඇය සමාජ විද්‍යාව සහ පුරාවිද්‍යාව පිළිබඳව උපාධියක් හදාරණු ලබනවා. පවුලේ එකම දරුවා වීම නිසා ඇගේ මව දැඩි රැකවරණ මධ්‍යයේ තමන්ගේ දියණියව රැක බලා ගන්නවා. මේ නිසාම කිසිදු කලා නිර්මාණයකට තම දියණියව සම්බන්ධ නොකිරීමට දුලීකාගේ මව වග බලා ගන්නවා. නමුත් දැඩි හිතුවක්කාර තරුණියක් වුණු දුලීකා, මවගේ කීම ගැන නොසලකා වේදිකා නාට්‍ය සමඟ සම්බන්ධ වෙනවා. වතාවක් වේදිකා නාට්‍ය නිර්මාණයක හොඳම නිළියට හිමි සම්මානය ලබා ගැනීමට පෙර දුලීකාට මවගෙන් ලැබෙන්නේ සිප ගැනීමක් නොව කම්මුල් පහරක්.

 

4.තුමිඳු දොඩන්තැන්න 

තුමිඳු දොඩන්තැන්නත් උසස් අධ්‍යාපනය සඳහා පිවිසෙන්නේ කැලණිය විශ්ව විද්‍යාලයට. හැබැයි ඔහු ඉන් පිට වෙන්නේ සාමාන්‍ය උපාධිධාරියෙක් විදිහට නෙමෙයි, දර්ශනපති උපාධිධාරියෙක් විදිහට. ඒ නාට්‍ය හා රංග කලාවට අදාළව දර්ශනපති උපාධිය සම්පූර්ණ කිරීමෙන් පස්සේ. මේ වෙන කොට ඔහු රංගනයට අමතරව හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේ දේශකයෙකු විදිහටත් කටයුතු කරනවා. තුමිඳුව ජනප්‍රිය කරපු කූඹියෝ ටෙලි නාට්‍යයේ ජෙහාන්ගේ චරිතය රඟපෑමට විශ්ව විද්‍යාලයේ දී ලැබූ විවිධ අත්දැකීම් නිසා පහසු වුණා කියලයි තුමිඳු කියන්නේ. ඒ වගේම බොහෝ වේදිකා නාට්‍ය නිර්මාණවලට තුමිඳුත් පිවිසෙන්නේ විශ්වවිද්‍යාල සමය තුළදිමයි.

 

5. ජැක්සන් ඇන්තනි 

ජැක්සන් ඇන්තනිට විශ්වවිද්‍යාල උපාධියක් හිමි වුණාට ඔහුට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වඩා වැඩි දැනුමක් තියෙනවා කියලා කිව්වොත් වැරැද්දක් නැහැ කියලා අපි හිතනවා. මුලින්ම ඔහු කොළඹ විශ්ව විද්‍යාලය හරහා සිංහල ගෞරව උපාධියක් ලබා ගන්නවා. ඒ කාලය තුළදී ඔහු සිංහල සාහිත්‍යය පිළිබඳව විශේෂ හැදෑරීමක් සිද්ධ කරනවා. දර්ශනපති උපාධිය සඳහා ඔහු තෝරා ගන්නේ ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය .ඒ සඳහා ජන සන්නිවේදන විෂය තෝරා ගන්නවා. කොළඹ විශ්ව විද්‍යාලය තුළ ගත කරපු කාලය ගැන ඔහු ඉතා ආස්වාදයෙන් යුතුව කතා කරනවා. “පනාපුත්‍ර කුහුඹුපැණියා” කියන අනවර්ථ නාමය ඔහුට පට බැඳෙන්නෙත් මේ විශ්වවිද්‍යාල සමය තුළදී.

 

6. ජයලත් මනෝරත්න 

ජයලත් මනෝරත්න කියන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ නිර්මාණයක්. ඒ වගේම එදිරිවීර සරච්චන්ද්‍ර මහතා යටතේ නාට්‍ය කිරීමෙන් අනතුරුව වේදිකා නාට්‍ය වලට පමණක් සීමා නොවී සිනමාව, ටෙලි නාට්‍යය ආදී බහුවිධ මාධ්‍ය දික්විජය කරන්න සමත් වුණු එකම නළුවා විදියට ජයලත් මනෝරත්න හඳුන්වා දෙන්න පුළුවන්. ජයලත් මනෝරත්න දර්ශනපති උපාධිය ලබාගැනීම සඳහා තෝරා ගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ආචාර්ය උපාධියත් නිම කරන්නේ ඒ විශ්වවිද්‍යාලය හරහායි. පස්සෙ කාලෙකදි ජයලත් මනෝරත්න කලාවට කරපු විශිෂ්ට සේවය අගය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සාහිත්‍යශූරී උපාධියක් ලබාදීලා එතුමාව අගය කිරීමට ලක් කරනවා.

 

7. යශෝධා විමලධර්ම 

අපි කලින් සඳහන් කරපු බොහෝ දෙනෙක් කැලණි විශ්ව විද්‍යාලයෙන්ම බිහිවුණු කලාකරුවන්  වුණාට යශෝධා විමලධර්ම කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසෙද්දිත් ලංකාවේ ජනප්‍රිය නිළියක්. මේ නිසාම ඇයව දැඩි ලෙස නවක වදයට භාජනය කරනු ලබනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එවකට විශ්ව විද්‍යාලයේ දේශකයෙකු ලෙස සේවය කළ ඇගේ පියා වුණු රව්ලාල් විමලධර්ම මහතා ඇයව විශ්වවිද්‍යාලයෙන් ඉවත් කර ගන්නා අතර ඔහුත් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙනවා. විශ්ව විද්‍යාලය තුළදී තමන්ට ලැබුණු අමිහිරි මතක නිසා තමන්ගේ උසස් අධ්‍යාපනය නතර කර නොගන්නා ඇය දිගටම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. මේ වන විට ඇය ලක්නව් විශ්වවිද්‍යාලයෙන් හින්දි භාෂාව පිළිබඳව දර්ශනපති උපාධියද ලබා ගෙන සිටිනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර්  කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.



උගත්කම අතින් ඉහළින් ඉන්න ශ්‍රී ලාංකික නළු නිළියෝ – 2 කොටස

මතක ඇතිනේ අපි මේ මාතෘකාව යටතේ ආටිකල් එකක් කරන්න හිතුවේ විවිධ දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ඉදිරිපත් කරපු නළු නිළියන්ට සමාජ මාධ්‍ය වලින් ලැබුණු ප්‍රතිචාර නිසා. ඒ වෙලාවේදී අපිට කියන්න ඕන වුණු දේ තමයි ලංකාවේ ජනතාව අතර වැරදි මතයක් තියෙනවා ක්ෂේත්‍රයේ බොහෝ නළු නිළියන්ට කිසි උගත් කමක් නැහැ කියලා. ඒ වැරදි මතය නිවැරදි කරන්න තමයි අපි පළවෙනි ආටිකල් එක ලිව්වේ. හැබැයි ඒ ආටිකල් එකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක අපි හිතුවා ඒ ආටිකල් එකේ දෙවෙනි කොටසකුත් කරන්න.

 

1. සෞම්‍ය ලියනගේ 

සෞම්‍ය ලියනගේ කියන්නේ ඔහුගේ පියා වන හේමසිරි ලියනගේ වගේම දුර්ලභ ගණයේ නළුවෙක්. බොහෝ වෙලාවට ඔහුට නිරූපණය කරන්න ලැබෙන්නේ සුලභ සිල්ලර චරිත නම් නෙමෙයි. ඒ හැම චරිතයකටම වගේ සාධාරණයක් ඉෂ්‍ට කරන්න ඔහුට හැකියාව ලැබුණා. ඒකට සෞම්‍ය ලබා තිබෙන රංගනය පිළිබඳ අධ්‍යාපනය එක හේතුවක් වෙන්න ඇති. කැලණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් ලබාගන්න සෞම්‍ය, ඊට පස්සේ ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නේ ඕස්ට්‍රේලියාවෙ ෆිල්න්ඩර්ස් විශ්වවිද්‍යාලයෙන්. පසුව ඔහු ආචාර්ය උපාධිය ලා ට්‍රෝබේ විශ්වවිද්‍යාලය හරහා ලබා ගන්නවා.

 

2. සුමින්ද සිරිසේන

අද වෙනකොට රෝගාතුර වීම නිසා එතරම් පෙනෙන්නේ නැති වුණත් සුමින්ද සිරිසේන කියන්නේ වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව කියන ක්ෂේත්‍ර තුනේම විශිෂ්ටයෙක් බවට පත්වූ රංගවේදියෙක්. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් සමාජ විද්‍යාව පිළිබඳව මූලික උපාධිය ලබා ගන්න සුමින්ද සිරිසේන, ජයවර්ධනපුර  විශ්විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා. හැබැයි ඔහු සතු රංග ප්‍රතිභාව සහ දැනුම නම් විශ්වවිද්‍යාල උපාධියකට ලඝු කරන්න බැහැ කියන එක නම් අනිවාර්යයෙන්ම කියන්න වෙනවා.

 

3. සුලෝචනා වීරසිංහ

“නිකිණි වැස්ස” වගේ චිත්‍රපටිවල කැපී පෙනෙන රංගනයක නිරත වුණු සුලෝචනා, “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ  රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීරගේ චරිතය නිරූපණය කිරීමෙන් ප්‍රේක්ෂකයන්ගෙ වගේම රසිකයන්ගෙත් ප්‍රසාදයට ලක් වුණා. නමුත් බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඇය ජන සන්නිවේදනය පිළිබඳව පශ්චාත් උපාධිධාරිනියක්. මේ වන විට ඇය ජනමාධ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ රැකියාවක නිරත වෙමින් ඉන්නවා.

 

4. ඩග්ලස් රණසිංහ

ඩග්ලස් රණසිංහ නම් නළුවා ගැන බොහොම දෙනෙක් දැනන් හිටියාට, ඔහු 70 දශකයේ පටන් ගුවන් විදුලියේ නිවේද​න සහ හඬකැවීම් ශිල්පියෙක් ලෙසට කටයුතු කළ අයෙක් බවට වැඩි දෙනෙක් දන්නේ නැහැ. එතුමා චතුර ලෙස ඉංග්‍රීසි බසින්ද නිවේදන කාර්යය සිදු කළ අයෙක්.

ඔහු පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව හෙන්රි ජයසේනගේ “හුණුවටයේ කතාව” වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඒ නාට්‍යයේ මංගල දර්ශනය නැරඹීමට පැමිණි ලෙස්ටර් ජේම්ස් පීරිස් “අක්කර පහ” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා ඔහුගෙන් ඉල්ලීමක් කරනවා. ඉන්පසුව “රෝමියෝ ජුලියට්” චිත්‍රපටයේ රඟපෑමේදී මුණගැසෙන විදේශික අධ්‍යක්ෂකවරයෙකුගෙන් ලැබුණු දිරිගැන්වීම් මත ඔහු චිත්‍රපටකරණය සහ නාට්‍ය ශිල්පය හැදෑරීම සඳහා එංගලන්තයේ  London International  Film School වෙත ඇතුළත් වෙනවා. එහි සාර්ථක ලෙස අධ්‍යාපනය නිම කරමින් ලංකාවට පැමිණියත්, ලංකාවේ සිටින කලා කල්ලිවලින් ඔහුට නිසි තැනක් නම් ලැබෙන්නේ නැහැ. ඩග්ලස් රණසිංහ නාට්‍ය ශිල්පය හැදෑරීමට එංගලන්තයට යන්​නේ ​ඒ වන විට ඔහු අධ්‍යාපනය ලබමින් හිටපු නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටීමත් අතහැර දමායි. අද වුවද ඔහු එම විභාගය සම්පූර්ණ කළහොත් ඔහුට නීතීඥයකු බවට පත් වීමේ අවස්ථාව හිමි වෙනවා.

 

5. ප්‍රසන්නජිත් අබේසූරිය

ප්‍රසන්නජිත් අබේසූරිය කියන්නේ විශිෂ්ට ගණයේ නළුවෙක් වගේම ක්ෂේත්‍රයට අලුත් නළු නිළියන් රැසක් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරපු කෙනෙක්. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් කලා අංශයෙන් ගෞරව උපාධියක් ලබා ගන්නා අතර පසුව ශාස්ත්‍රවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ලබාගන්නවා. මේ වන විට රංගනය පිළිබඳව සරසවි දේශකයෙකු විදිහටත් ඔහු කටයුතු කරනවා.

 

6. අනෝජා වීරසිංහ 

සම්භාව්‍ය ගණයේ චිත්‍රපටිවල වගේම ජනප්‍රිය ධාරාවේ  චිත්‍රපටවලත් එකසේ දක්ෂකම් දැක්වූ අනෝජා වීරසිංහ පළවෙනි වතාවට ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙන්නේ “මල්දෙණියේ සිමියොන්” චිත්‍රපටයේ සිදුකළ රඟපෑම හේතුවෙන්. එම රඟපෑම වෙනුවෙන් ඇය ජාත්‍යන්තර සම්මානයටත් ලක්වෙනවා. මේ නිසා ඇය හිතනවා රංගනය පිළිබඳව වැඩිදුරටත් හැදෑරිය යුතුයි කියලා. ඒ අනුව ඇය London Academy of Music and Dramatic Art ආයතනය මගින් රංගනය පිළිබඳව විශේෂ හැදෑරීමක් කරනවා. නැවතත් ලංකාවට පැමිණෙන ඇය ඒ හැදෑරීම් භාවිතයෙන් තමන්ගේ රංගන කෞෂල්‍යය දියුණු කරගන්නවා වගේම ලංකාවේ නළු නිළියන් වෙනුවෙන් තමන් ලැබූ අධ්‍යාපනය බෙදා ගනු ලබනවා.

 

7. දිනෙත් ඈපාලිය​න

ලංකාවේ අතිශයෙන් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ මලින්තගේ චරිතය හරහා ඔබ හමුවට එන දිනෙත් ඈපාලියන කියන්නෙත් හොඳ හැදෑරීමක් සහිතව ක්ෂේත්‍රයට පිවිසුණු තරුණ නළුවෙක්. ඔහු ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකින් සිනමාව සහ ටෙලිනාට්‍ය සම්බන්ධ ශාස්ත්‍රපති උපාධිය ලැබූ තරුණයෙක්. අධ්‍යාපන කටයුතු හමාර කරලා 2017 වසරේදී ශ්‍රී ලංකාවට පෙරළා එන දිනෙත්, වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයටත්, ඉන්පසුව ටෙලිනාට්‍ය රංගනයටත් යොමු වෙනවා. දිනෙත් මේ වන විට ‘දෙහදක ආදරයක්’ නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කරන්න සමත් වෙලා තියනවා. ඒ චිත්‍රපටයත් සමගම ඔහු සිනමා අධ්‍යක්ෂකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් හැටියටත් ඉදිරියේදී ඔබ හමුවට ඒවි.

 

8. රුවන් වික්‍රමසිංහ 

පාසල් යන කාලයේ රුවන් වික්‍රමසිංහගේ හීනය වුණේ වෛද්‍යවරයෙක් බවට පත්වීම. නමුත් ඒ සඳහා ඔහුට ලකුණු හයක් මදි වෙනවා. ඉන් අනතුරුව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යා උපාධියක් සම්පූර්ණ කරනු ලැබුවා. දහම් පාසල් ගුරුවරයකු ලෙස ද කටයුතු කරන රුවන් ඒ සම්බන්ධ විභාග සඳහා පෙනී සිට ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේ වන විට ඔහු ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා.

 

මේ ලැයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් නළු නිළියෝ ගැන අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරලා අපිට සහයෝගයක් දක්වන්න කියන පණිවිඩයත් මතක් කරන්න කැමතියි.

 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post