ටෝටියා රැප් වලට ආස අයට රසට හදාගන්න ටෝටියා ෆිලින්ග්ස් 7ක රෙසිපි මෙන්න



ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා ලේසියෙන් පහසුවෙන් ටෝටියා රැප් රෙසිපි සෙට් එකක්ම. ඩයට් කරන අයට විශේෂයි. මේ ෆිලින් වල ඇඟට ගුණදායක දේවල් තමයි ගොඩක් තියෙන්නෙ. එහෙනම් කියවලා විතරක් නතර නොවී හදලම බලන්නකෝ. 

 

1. හනී පෝක් රැප් (Honey Pork Wrap) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ටෝටියා එකක්
  2. ක්‍රීම්චීස් මේස හැඳි 2
  3. පොඩියට කපාගත් පෝක් ග්‍රෑම් 100 
  4. ලුණු
  5. ගම්මිරිස් කුඩු ටිකක්
  6. ගර්කින් පෙති කිහිපයක් 
  7. ලියාගත් ළූණු ගෙඩි 1/2
  8. චොප්කරගත් ළූණු කොළ ටිකක් 
  9. මී පැණි මේස හැඳි 1

 

  • පෝක් වලට ලුණු ගම්මිරිස් අතගාලා තෙල් ටිකක් දාගත්ත පෑන් එකක අඩු ගින්දරේ පෑන් ෆ්‍රයි කරගන්න. 
  • පෝක් ටික හොඳට ෆ්‍රයි වුණාම ඒකට මීපැණි ටික දාල කලවම් කරලා ලිපෙන් බාගෙන පොඩියට චොප් කරගන්න.
  • ටෝටියා රොටිය භාගයක් වැහෙන්න ක්‍රීම්චීස් ගාලා පෝක් ටික තියාගන්න. ඊළඟට ගර්කින් පෙති හා ළූණු අතුරලා, ළූණු කොළ ටික ඉහගෙන දෙකට නවන්න.

 

2. ඇවකාඩෝ & ටූනා රැප් (Avocado and Tuna Wrap) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අලිගැටපේර ගෙඩියක්
  2. ලෙමන් යුෂ මේස හැඳි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1/2
  5. චොප්කරගත් පාස්ලි මේස හැඳි 1
  6. චොප්කරගත් ළූණුකොළ ටිකක් 
  7. ලුණු හා ගම්මිරිස්කුඩු 
  8. ටෝටියා රොටි කිහිපයක් 

 

  • අලිගැටපේර ගෙඩිය සුද්ද කරලා පොඩි කෑලි වලට කපාගෙන ලෙමන් යුෂ දාලා පොඩි කරගන්න. 
  • මේකට චොප්කරගත් ළූණු, බෙල්පෙපර්, පාස්ලි, ළූණුකොළ දාලා, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. 
  • දැන් මේක ටෝටියා මැදින් තියලා හතර පැත්තෙන් නවාගන්න. 

 

3. ඇවකාඩෝ & එග් රැප් (Avocado & Egg Wrap) 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. අලිගැටපේර ගෙඩි 1
  2. තම්බාගත් බිත්තර 2
  3. ළූණු කොළ ටිකක් 
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. සලාද කොළ 2

 

  • අලිගැටපේර ගෙඩිය පොඩියට කපලා ලෙමන් යුෂ දාගන්න. හොඳට චොප්කරගන්න. මේකට බිත්තර දෙක ග්‍රේට් කරලා දාගන්න. 
  • ඊළඟට මේකට ළූණු කොළ ටික දාලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. මිශ්‍රණය ටෝටියා එක මැදින් තියලා සලාද කොළ දෙකක් තියලා නවාගන්න. 

 

 

4. හැම් ටෝටියා රැප් (Ham Tortilla Wrap) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ටෝටියා රොටි
  2. මයෝනේස් මේස හැඳි 1
  3. මස්ටඩ් ක්‍රීම් තේ හැඳි 1
  4. හැම් පෙති කිහිපයක් 
  5. චෙරි තක්කාලි කිහිපයක් 
  6. බේබි ස්පිනෑච් ස්වල්පයක් 
  7. සලාද කොළ 2

 

  • හැම් ටික පොඩ්ඩක් පෑන් ෆ්‍රයි කරගන්න. ටෝටියා එකට මයෝනේස් ගාලා මස්ටඩ් ක්‍රීම් ටික ගාගන්න. 
  • ටෝටියා එකට හැම් පෙති තියලා තක්කාලි කපලා අතුරගන්න. ස්පිනෑච් හා සලාද කොළ උඩින් දාලා නවාගන්න. 

 

 

5. ටූනා ස්විට්කෝන් ටෝටියා (Tuna Sweet Corn Tortilla) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ටෝටියා රොටි
  2. කපාගත් අයිස්බර්ග් සලාද කොළ කිහිපයක් 
  3. කපාගත් චෙරි තක්කාලි කිහිපයක් 
  4. කපාගත් ගර්කින් ගෙඩි 1/2
  5. යෝගට් මේස හැඳි 2
  6. ගාලික් පවුඩර් තේ හැඳි 1/2
  7. ලුණු ස්වල්පයක් 
  8. කුඩුකරගත් ටූනා ග්‍රෑම් 100
  9. ස්වීට්කෝන් ග්‍රෑම් 50

 

  • යෝගට් වලට ලුණු හා ගාලික් පවුඩර් දාලා කලවම් කරගන්න. මේක ටෝටියා වල ගාගන්න. 
  • දැන් කපාගත් සලාද කොළ මැද්දෙන් තියලා ටූනා ටික දාගන්න. ඊට උඩින් ගර්කින් ටික අතුරලා තක්කාලි ටික දාගන්න. 
  • මේකට ස්වීට්කෝන් ටිකත් දාලා රෝල් කරගන්න. 

 

 

6. බේකන් රැප් ෆිලින්ග් (Bacon Wrap Filling) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ටෝටියා රොටියක්
  2. බැදගත් බේකන් කිහිපයක් 
  3. කපාගත් තක්කාලි ගෙඩි 2
  4. ග්‍රේට්කරගත් චීස් ස්වල්පයක් 
  5. කපාගත් අලිගැටපේර ගෙඩි 1/2
  6. දෙහි ස්වල්පයක් 

 

  • අලිගැටපේර වලට දෙහි දාලා පොඩි කරගන්න. ටෝටියා එකේ මැද ඉඳලා එක පැත්තක අරය කොටසට පිහි කැපුමක් දාගන්න. 
  • දැන් පොඩි කරගත් අලිගැටපේර ටික රොටියෙන් කාලක් පිරෙන්න දාලා අනික් කාලට බේකන් ටික දාගන්න. 
  • ඊළඟට ග්‍රේට්කරගත් චීස් ටික දාලා අනික් කොටසට කපාගත් තක්කාලි ටික දාගන්න. දැන් කපපු කොටසින් පටන් අරගෙන ලේයර් 4ම එකට සිටිනසේ නවාගන්න. 
  • පෑන් එකට බටර් ටිකක් දාලා නවාගත්ත රෝටියා එකේ දෙපැත්ත ග්‍රිල් කරගන්න. 

 

 

7. චිකන් ටෝටියා (Chicken Tortilla) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට්කරගත් බිත්තර 1
  2. කපාගත් අලිගැටපේර ගෙඩි 1
  3. තම්බාගත් චිකන් ග්‍රෑම් 100
  4. ලුණු හා ගම්මිරිස්කුඩු 
  5. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් මේස හැඳි 2
  6. බේබි ස්පිනෑච් කෝප්ප 1/4

 

  • චිකන් ටික පොඩ්ඩක් පොඩි කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. 
  • චීස් ටික ටෝටියා එකේ අතුරගන්න. අයිනකින් දිගට චිකන් ටික තියලා බිත්තර ටික දාගන්න. ඊළඟට කපාගත් අලිගැටපේර පෙති ටික දාලා ස්පිනෑච් ටික අතුරගන්න. දැන් මේක රෝල් කරගන්න. 

 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post