ඇමරිකාවේ සුන්දරම ජනපද 7ක්



ඇමරිකාවේ ජනපද පනහක් තියෙනවා. එයින් 41ක්ම ලංකාවට වඩා විශාලයි. ඒ කියන්නේ ඒ ජනපදය ගත්තාම ඒක ලංකාවට වඩා ප්‍රමාණයෙන් විසාල වූ ජනපද 41ක් ඇමරිකා එක්සත් ජනපදයට අයිතියි. විවිධ ආකාරයේ ගහ කොළ මල් සහ සොබා සෞන්දර්යය සපිරි උතුරු ඇමරිකාව අපි නිතර දකින නගර වටපිටාවම නෙමෙයි. එතනින් එහාට ගියාම බලන්න, විඳගන්න ගොඩක් වටින දේවල් ඇමරිකාවේ තියෙනවා. ඉතින් අපි ඒ විදිහේ බලන්නට වටින ජනපද කිහිපයක් ගැන දැනගමු.

 

1. කැලිෆෝනියාව

කැලිෆෝනියාව බොහොම විවිධාකාර අත්දැකීම් ලබන්න තියෙන ප්‍රදේශයක් විදිහට ප්‍රසිද්ධයි. කැලිෆෝනියාවට බීච් පාරාදීසයකුත් ඇතුළත් වෙනවා. ඊට අමතරව යොස්මයිට් ජතික උද්‍යානය, ගෝල්ඩන් ගේට් පාලම ආදිය සංචාරකයින් අතර ජනප්‍රියයි. සොබා දහම රසවිඳින අයට සියරා නෙවාඩා කඳු පන්තිය, මොහාවි කාන්තාරය, සකෝයා ජාතික උද්‍යානය හොඳ කෙම්බිම් වෙනවා. කැලිෆෝනියාව තරමක් මිල අධික නගරයක් සහ ජනපදයක් වුණත් ජනතාව කැලිෆෝනියාවේ රස විඳින්නට ආසා කරනවා. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරය අමරිකාවේ මෙන්ම ලොව පුරා සිටින ධනපති සංචාරකයින් අතර නම කියවෙන සංචාරක පාරාදීසයක් වෙනවා.

 

2. මොන්ටානා

රොකී කඳු පන්තියට යාබද පිහිටි මොන්ටානා ජනපදය ඒ රොකී කඳු පන්තියේ ඇති ග්ලැසියර නිසාම ජනප්‍රිය වෙලා තියෙනවා. මේ මොන්ටානා ජනපදයේ කිලෝමීටර හත් අටසීයක් විතර මිනිසුන් විසින් පයින් ඇවිද සොබාසිරි විඳින්නට යොදාගන්නා ට්‍රැක් තියෙනවා. මේ මොන්ටානා නගරය කැනඩාවටත් යාවෙන නගරයක් නිසා දිගු ශීත කාලයක් තියෙනවා. ලෙවිස් සහ ක්ලාක් වර්න්ස් ජාතික උද්‍යානයේ තියෙන හිරිගල් ගුහා කියන්නෙත් ගිහින් බලන්නම වටින සොබාවික නිර්මාණයක්. රොකී කඳු පන්තිය යාබද ඒ කඳුකරයට ආවේණික සංචාරක අත්දැකීම් ලබාගන්නට සුදුසු වටපිටාවක් විදිහට මොන්ටානා දක්වන්නට පුළුවන්.

 

3. ඇලස්කා

ඉස්සර ජාතික රූපවාහිනියේ ගිය ‘වයිල්ඩ් ඇමරිකා’ වල එහෙම පෙන්නපු තැනක් තමයි ඇලස්කාව කියන්නේ. ඇමරිකාවේ කඳුකර වටපිටාවක් වෙන ඇලස්කාවේ උතුරු ඇමරිකාවේ උසම මුදුන වන මැකින්ලේ කන්ද පිහිටලා තියෙනවා. මේ ඇලස්කාවේ කඳුවලට අමතරව තද ඝන වනාන්තර, කාන්තාර ක්ෂේම භූමි, ආක්ටික් කලාපීය හිම බිම් ආදියත් පිහිටල තියෙනවා. ඇලස්කාව කියන්නේ සිතියම අනුව ජපානයට නුදුරින් තියෙන අර්ධද්වීපයක් වගේ කොටසක්. ඒ නිසා ඇලස්කාවට කිලෝමීටර 34,000ට ආසන්න මුහුදු වෙරළ තීරයකුත් උරුම වෙලා තියෙනවා.

 

4. උටා

ඇමරිකාවේ තියෙන චිත්‍රපටි වල හෙම රතුපාට කඳු පන්ති තියෙන, රතුපාට ශිකර පොළොවෙන් උඩට මතු වෙලා පේන අමුතු කලාපයක් තියෙනවා. ඒ කලාපය බොහෝවිට උටා. උටා වල සියොන් ජාතික උද්‍යානය මේ රතුපාට ශිඛර සහ පස් සහිත භූමි භාගයට ප්‍රසිද්ධයි. මේ රතුපාට පස් තලා මත සිට හමු වූ පෞරාණික ඩයිනෝසෝර පොසිල ආදියත් තියෙනවා. අසාමාන්‍ය භූ විෂමතාවය නිසාම ජනප්‍රිය වෙලා තියෙන උටා පළාත ලෝකයේම එවැනි ගල් තලා අතර ජනප්‍රියම ස්ථානයක් වෙනවා.

 

5. ඇරිසෝනා

ඇරිසෝනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වසරකට දින හතළිහක් පමණක් වැසි වැටෙන වියළි කාන්තාරමය පළාතක්. මේ ඇරිසෝනාව ඇමරිකාවේ වැඩිපුරම සංචාරකයින් ඇදෙන පළාතක් වෙලා තියෙනවා. රතු ඉන්දියානුවන්ගේ නිජ භූමි පිහිටා තියෙන මේ ඇරිසෝනාවේ ග්‍රෑන්ඩ් කැන්යොන් සහ විවිධ වර්ණයෙන් තියෙන වෛවර්ණ කාන්තාර කොටස් දකින්නට තියෙනවා. මේ ඇරිසෝනා කතර මැදින් දිවෙන 66 වන මාර්ගය ඇමරිකාවේ සුන්දර භූමි දර්ශන තියෙන මාර්ගයක්.

 

6. හවායි

50 වන ජනපදය වන හවායි, භූමියෙන් ඇමරිකානු ගොඩබිමට සම්බන්ධ නැහැ. ජපානය පැත්තේ පැසිපික් සාගරයේ පිහිටලා තියෙන හවායි දිවයින් වල වෙනමම සංස්කෘතික ලක්ෂණ තවමත් දකින්නට තියෙනවා. හවායි දූපත ඒ දූපත් කාණ්ඩයට ආවේණික පැළෑටි, ගහ කොළ, මල් වලින් ලස්සන වෙලා තියෙනවා. ඒ වගේම නිතර ඇවිලෙන ගිනිකඳුත් හවායි වල දකින්නට පුළුවන්. මේ සමස්ථ පෘථිවි ගෝලය ගත්තාම ඒකේ තියෙන විසාලතම ගිනිකන්ද වන ලෝවා ගිනිකන්ද තියෙන්නෙත් මේ හවායි දූපත් වල. ස්නෝක්ලින්, ඩයිවින් වගේ මුහුදු වෙරළ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට හවායි දිවයින් ප්‍රසිද්ධයි. මුහුදු වෙරළ රසවිඳින්න කැමති සංචාරකයොත් විවිධ වර්ණයෙන්, විවිධ හැඩයෙන් තියෙන හවායි වෙරළ කරා නිරන්තරයෙන් ඇදෙනවා.

 

7. කොලරාඩෝ

වන සතුන්, වනයේ ගහ කොළ සිරි විඳිනවා නම් ඇමරිකාවේ තියෙන ලස්සනම පළාතක් තමයි ඇරිසෝනාව. ඇරිසෝනාවේ ගහ කොළ මල් සෘතු භේදය අනුව වෙනස් වෙන ආකාරය බලන්න ලස්සනයි. රොකී කඳුවැටියේ කඳු වගේම පොලවේ ගැඹුරට විහිදෙන ගුහා ආදියෙනුත් මේ කොලරාඩෝව ලස්සන වෙනවා. ශීත සමයේදී හිම ක්‍රීඩාවන් සඳහාත් යොදාගන්නා කොලරාඩෝවේ වැඩිමනක් මිනිසුන් දැන් ගැවසෙන්නේ නැති, අතීතයේ මිනිසුන් වාසය කළ ගෝස්ට් ටවුන් හෙවත් හුදකලා නගරද බලන්නට තියෙනවා.

 

ඇමරිකාවේ යන එක අපිට හීනයක්. එක පැත්තකින් වියදම, අනෙක් පැත්තෙන් වීසා ලබාගැනීමේ ගැටළු ආදී මුහුණ දෙන මූලික ප්‍රශ්න තියෙනවා. ඒත් අපිට යන්න බැරි වුණත් යූටියුබ් එකෙන් හොයා බලන්න හරි වටිනා තැන් ටිකක් ඔයාලට මේ පෝස්ටුව හරහා ලැබෙන්නට ඇති.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post