ජපන් සංස්කෘතික උරුමයන්‍



ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නිසා ජපානය ගැන මේ වෙද්දි ලෝකය පුරාම ජනමාධ්‍යවල කතා කරනවා. දෙවැනි ලෝක යුද්ධයේදී දැවී අළු වී ගිය ජපානය ඉන් දශක කිහිපයක් යන්නට පෙර ෆීනික්ස් කුරුල්ලෙක් මෙන් යළි නැගී සිටියා. ඒකට එක හේතුවක් වුණේ ජපන් ජාතිකයන් සතු ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමය. ඔවුන් වසර දහස් ගණනක් තිස්සේ කිසිදු රටකට යටත් නොවී තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කර ගත්තා. විශේෂයෙන්ම මේ සංස්කෘතික උරුමය ජපන් ජාතිකයන්ගේ ඇට මිදුළුවලටම කාවැදිලා තිබ්බේ. මේ නිසා අපි අද හිතුවා ඔබත් එක්ක ජපන් සංස්කෘතික උරුමයන්‍ කීපයක් පිළිබඳව තොරතුරු බෙදා ගන්න.

 

1. කමකුරා සිද්ධස්ථාන (Kamakura Temples)

කමකුරා කියන්නේ කාලයක් ජපානයේ දේශපාලන අගනුවර බවට පත් වෙලා තිබ්බ ඓතිහාසික නගරයක්. මේ නගරය ගොඩනැගීම සඳහා මුල් වෙලා තියෙන්නේ ජපානයේ රණකාමීවරුන් වන සමුරායිවරු. මේ නගරය ආශ්‍රිතව පිහිටා තිබෙන යෝධ බුද්ධ ප්‍රතිමාව කාලයක් ජපානයේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකුණා. එසේම සෙන් බුද්ධාගමේ‍ ප්‍රධාන පෙළේ පුදබිම් සමූහයකුත් කමකුරා නගරය ආශ්‍රිතව පිහිටා තිබෙනවා .

 

2. හයික්නෝ මාළිගය (Hikone Castle) 

බිවා විල  ආසන්නයේ පිහිටා තිබෙන මෙම  මාළිගය සැළකෙන්නේ එතෙක් ප්‍රාදේශීය කොටස්වලට බෙදී තිබූ ජපානය පළමු වරට එක්සත් කිරීමේ සංකේතයක් ලෙසයි. ඒ සඳහා සටන් වැදුණු ප්‍රධාන සෙන්පතියෙකු වන නමෝසා ලී වෙනුවෙන් මෙම මාළිගය නිර්මාණය කොට තිබෙනවා.

 

3. ෆුජිරාවා (Fujiwara)

ජපානයේ පළමු අගනුවර ලෙස සැළකෙන  ෆුජිවාරා නගරය පිළිබඳව තවමත් සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගෙන නැහැ. මේ වන විට සිදුකර ඇති කැණීම්වලින් වර්ග කිලෝමීටරයක පමණ අති දැවැන්ත මාළිගයක් පාදා ගෙන තිබෙනවා. මෙවැනි නිර්මාණ සඳහා භාවිතා කළ තාක්ෂණය පිළිබඳව වාද විවාද පවතිනවා. එසේම සිතුවමින් අලංකාර කරන ලද සොහොන් සහ බිත්ති ද හමුවී තිබෙනවා. නාරා නගරය අගනුවර ලෙස තෝරා ගැනීමෙන් පසුව ෆුජිවාරා නගරය ගිනිබත් වූ බවයි ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ.

 

4. ජෝමෝන් ස්මාරක (Jomon)

මීට වසර දහ දාහකට පමණ පෙර ජපන් ජාතිකයන් දඩයම් යුගය ගතකරද්දී සිදු කළ නිර්මාණ මේ ගොන්නට අයත් වෙනවා. හොකයිඩෝ දූපත ආශ්‍රිතව මෙවැනි භූමි ප්‍රදේශ වැඩි වශයෙන් හමුවන අතර එහිදී සොයාගන්නා ලද ඇතැම් මැටි භාණ්ඩ වසර පහළොස් දාහක් පමණ ඈත අතීතයකට යන බව විශ්වාස කෙරෙනවා.

 

5. කොෆූන් (Kofun)

පුරාණ ජපන් කතා වල කියැවෙන පරිදි තුන්වන ශතවර්ෂයේදී හිමිකෝ නම් රැජිනක් විසින් ජපානයේ කොටසක් පාලනය කොට තිබෙනවා. ඇගේ මරණයෙන් පසුව අති දැවැන්ත සොහොනක් ඇය වෙනුවෙන් නිර්මාණය කළ බව එම ජනප්‍රවාදවල වැඩිදුරටත් කියවනවා. 2009 වසරේ දී පර්යේෂකයන් පිරිසක් විසින් ඇයගේ සොහොන සොයා ගනු ලැබුවා (නමුත් මේ පිළිබඳව වෙනත් මත ද තිබෙනවා). මෙවැනි ආකාරයේ සොහොන් කොත් කොෆූන් ලෙස හැඳින්වෙන අතර ඔසාවා නගරය ආශ්‍රිතව මෙවැනි ඇති දැවැන්ත සොහොනක් පවතිනවා. ඇතැම් සොහොන්වල මිහිදන් කර ඇත්තේ කවරෙක් ද යන්න පිළිබඳව නිසි වාර්තා නොමැති නමුත් ඒවා කැණීමේදී සොයාගන්නා ලද අවි ආයුධ, මෙවලම් ආදිය එම කාල සමයේ ජපානය ලබා සිටි දියුණුවට සාක්කි සපයනවා.

 

6. සාඩෝ දූපතේ රන් ආකර (Sado Gold Mines)

ජපානයේ ඇති විශාලතම රන් ආකරය  සාඩෝ දූපත ආශ්‍රිතව පිහිටා තිබෙනවා. එය වසර 400ක පමණ කාලයක් සක්‍රීයව පැවති අතර රත්තරන් ටොන් 80ක් පමණ  ඉන් සොයාගත් බව වාර්තා වල කියවෙනවා. මෙම රන් ආකර සොයා ගැනීමට පෙර ඒ ආශ්‍රිතව සිටියේ පවුල් දහයක් පමණක් වුවත් ඉන්පසුව එහි ජනගහණය ලක්ෂය දක්වා ඉහළ ගියා.

 

7. අමාමි ඔෂිමා (Amami Oshima)

කියූෂූ ආසන්නයේ පිහිටා ඇති මෙම දූපත සැළකෙන්නේ මිහිබට පාරාදීසයක් ලෙසටයි. ජපානයට පමණක් ආවේණික ආවේණික සත්ත්ව සහ ශාක ප්‍රජා ගණනාවකට මෙම දූපත  සෙවණ සදනවා. සුන්දර වෙරළ තීරය, කඩොලාන ගොමුව සහ නොයිඳුල් වනාන්තර මෙම දූපත ලෝකයේ ප්‍රධාන පෙළේ සංචාරක ආකර්ෂණයක් බවට පත්වීමට ප්‍රධාන හේතුවක් වනවා.

 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post