රෝස පැහැයට උරුමකම් කියන අරුම පුදුම විල



සාමාන්‍යයෙන් අපිට විලක් කියපුවම මතක් වෙන්නේ අවර්ණ තරමක් කුඩා ජල ප්‍රදේශයක්නේ… හැබැයි ඕස්ට්‍රේලියාවේ තියන හිලියර් (Hillier) කියන විල නම් ඊට හාත්පසින්ම වෙනස්. මේ විල රෝස පාටයි. අද අපි කියන්න යන්නේ මේ අපූරු විල ගැන තොරතුරු ටිකක්. 

 

1. පිහිටීම 

මේක තියෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු මුහුදු තීරයට ඔබ්බෙන් තියෙන ආකිපෙලාගෝ දූපත් සමූහයේ එකක් වන මිඩ්ල් අයිලන්ඩ් නම් දූපතේ. යුකැලිප්ටස් ගස් වලින් වටවුණු මේ විල ඝන වනාන්තරයක තමයි පිහිටා තියෙන්නේ. මේ අවට ප්‍රදේශය ජන ශූන්‍ය ප්‍රදේශයක් විදියටත් වාර්තා වෙනවා…

 

2. මුල් වරට සොයාගැනීම

මේ දූපත මුලින්ම හොයාගත්තේ 1802 අවුරුද්දේදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන මැතිව් ෆ්ලින්ඩර්ස් හා ඔහුගේ කණ්ඩායම විසින්. මේ විල ඔහු දැකලා තියෙන්නේ මේ දූපතේ කඳු මුදුනක ඉද්දි. ඒ කඳු මුදුන අද ඔහුගේ නමින් නම් කරලා තිබ්බත් මේ විල නම් කරලා තියෙන්නේ ඔහුගේ මිතුරකු වුණු හිලියර්ගේ නමින්. එයට හේතුව තමයි මේ ගවේෂණ කටයුතු අතරතුර හිලියර් මරණයට පත් වීම. ඒ නිසා ඔහුට ගෞරවයක් විදියටයි මේ විල ඔහුගේ නමින් නම් කර තිබෙන්නෙ…

 

3. රෝස පැහැයට හේතුව 

විලේ මේ අමුතු පාටට හේතුව මුල් කාලේ ඉඳලම ලොකු ප්‍රහේලිකාවක් වුණා. ඊට පස්සේ විද්‍යාඥයන් හොයාගන්නවා මේ විලේ ජීවත් වෙන Dunaliella කියන පියවි ඇසට නොපෙනෙන දිලීරය නිසායි මේ විලට මේ පැහැය එකතුවෙලා තියෙන්නෙ කියලා. කොහොම වුණත් මේ විල තාමත් විද්‍යාඥයන්ගේ පරීක්ෂණ මට්ටමේ තමයි පවතින්නේ…

 

4. විශාලත්වය

මේ විල අඩි දෙදාහක් විතර දිගයි. අඩි 820 ක් විතර පළලයි. අක්කර 37 කට වැඩි භූමි ප්‍රමාණයක් පුරාවට පැතිරිලා තිබෙන මේ විල හරිම හුරුබුහුටි හැඩයකටත් උරුමකම් කියනවා.

 

5. සංචාරක ආකර්ෂණය 

මුල් වතාවට මේ විල ගැන ඇහුව කෙනෙක් නම් හිතනවා ඇති මේ විලට ලොකු සංචාරක අකර්ෂණයක් තියෙනවා ඇති කියලා. ඒත් එහෙම නම් නෑ. කලින් අපි කිවුවනෙ මේ විල තාම තියෙන්නේ විද්‍යාඥයන්ගේ පරීක්ෂණ මට්ටමේය කියලා. අන්න ඒ නිසා මේ විලට ඇතුළු වෙන්නනම් සාමාන්‍ය සංචාරකයන්ට ඉඩ ලැබෙන්නේ නෑ. හැබැයි මේ විලට උඩින් ගමන්කරන කුඩා ගුවන්යානා වලින් මේ විල දකින්න පුළුවන්. ගොඩාක් සංචාරකයෝ මේ විල ගුවන්යානයකින් හරි බලාගන්න ලොකු ආසාවකින් ඉන්නවා කියලාත් වාර්තා වෙනවා… 

 

6. ලවණතාව 

මේ විලේ ලවණතාව නම් ගොඩාක් වැඩියි. අපි හැමෝම දන්න දෙයක් තමා ලවණතාව වැඩි ජල තටාකයක පාවෙන්න පුළුවන් කියන එක. එයට හොඳම උදාහරණය තමයි මළ මුහුද.  ලවණතාව ගොඩාක්ම වැඩි මේ විලේ වතුර නාන්න සුදුසුයි කියලා විද්‍යාඥයන් කිව්වත් ලුණු හදන්න මේ විලේ ජලය සුදුසු නෑ කියලයි කියන්නෙ. 1889 අවුරුද්දේ මේ විලෙන් ලුණු ලේවායක් හදන්න උත්සහ කළත්, පසුව අවාසනාවකට හොයා ගන්නවා මේ විලේ වතුර ගොඩාක් විසයි කියලා…

 

7. අවට පරිසර කලාපය 

කලින් කිව්වා වගේ මේ විල තියෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ තියෙන දූපත් කිහිපයකින් එකකනේ. ඉතින් මේ විල අවට ලොකු ජෛව විවිධත්වයක් තියෙනවා. අපූරු කපුරු ගස් වළල්ලකින් සැරසුණු නිම්වලල්ලකින් යුතුව අපූරු පක්ශි විශේෂ රැසක් ඉන්න මේ විල අවට ප්‍රදේශය දැන් සංරක්ශිත ප්‍රදේශයක් හැටියටයි පවතින්නෙ.

 

අද අපි කතා කළේ ලෝකයේ සාමාන්‍ය විල් වලින් ගොඩාක් වෙනස් වෙන හිලියර් විල ගැනයි. මේ තොරතුරු වැදගත් කියල හිතෙනවනම් යාළුවන්ටත් පේන්න මේ ලිපිය ෂෙයාර් කරන්න කියන ඉල්ලීමත් අපි කරන්න කැමතියි. 

 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post