බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් රජ මාළිගා

 බ්‍රිතාන්‍ය රජ පවුල පිළිබඳව පහුගිය දවස්වල අපි ලියපු ආටිකල් කීපයකටම ඔබගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. මේ නිසා අපි හිතුවා ඒ ආටිකල් සීරීස් එකේම දිගුවක් විදිහට බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති රජමාළිගා කීපයක් ගැන තොරතුරු ඔබට ගෙන එන්න. හැබැයි අපි මේ ආටිකල් එකට බකිංහැම් මාළිගාව නම් ඇතුළත් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ රටේ බොහෝ දෙනෙක් බකිංහැම් මාළිගාව පිළිබඳව දන්න නිසා. 

 

1. බැල්මෝරල් මාළිගය

 

බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් පෞද්ගලික මාළිගාවක් වන මෙම මාළිගාව පිහිටා තිබෙන්නේ ස්කොට්ලන්තයේ. ඇල්බර්ට් කුමරු විසින් තම බිරිඳ වන වික්ටෝරියා රැජින සඳහා මෙම මාළිගය 1852 වර්ෂයේ දී මිලට ගෙන තිබෙනවා. ස්කොට්ලන්තයට ආවේණික ගෘහ නිර්මාණ කලාව අනුව නිර්මාණය කර ඇති මෙම මාළිගයට හෙක්ටයාර විසිදහසක පමණ වතු යායක් ද අයත් වෙනවා. රාජකීය පවුල බොහෝ විට මෙම මාළිගය විවිධ සාද සහ නිල උත්සව සඳහා භාවිතා කරනවා.

 

2. සැන්ඩ්‍රින්හැම් මාළිගය

මෙම මාළිගාවද බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් පෞද්ගලික මාළිගාවක් වන අතර 1862 දී වික්ටෝරියා රැජන විසින් මිලදී ගෙන තිබෙනවා. පස් වැනි ජෝර්ජ් රජුගේ පටන් රජ පවුල නත්තල ගත කිරීම සඳහා තෝරා ගන්නේ සැන්ඩ්‍රින්ග්හැම් මාළිගයයි. මේ නිසාම බ්‍රිතාන්‍යය රැජින විසින් නත්තල් දා සිදු කරන රූපවාහිනී පණිවිඩය සඳහා යොදා ගන්නේ මෙම මාළිගයේ ඇති පුස්තකාලයයි.

 

3. වින්ඩ්සර් මාළිගය 

ලෝකයේ දැනටත් රාජකීයයන් විසින් භාවිතා කරන  පැරණිතම සහ විශාලතම මාළිගාව ලෙස ලෙස වින්ඩ්සර් මාළිගය හැඳින්වෙනවා. මෙම මාළිගය වර්ෂ 1070 දී තැනූ මාළිගයක් බවට සාධක හමු වී ඇති අතර වර්තමානයෙහි එලිසබත් රැජින තාම සති අන්තය ගත කිරීම සඳහා මෙම මාළිගය භාවිතා කරනවා. දෙවැනි ලෝක යුද සමයේදී ප්‍රචාරණ කටයුතු සඳහා රජපවුල බකිංහැම් මාළිගයේ වාසය කළ බව සඳහන් කළත් රාත්‍රී කාලයේ දී රජ පවුල වාසය කළේ වින්ඩ්සර් මාළිගාව තුළයි.

 

4. ක්ලැරන්ස් හවුස් මාළිගය

වර්තමානයේ වේල්සයේ කුමරු වන චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කෝර්න්වෝල්හි ආදිපාදවරිය වන කැමිලා පාකර් බෝල්ස් ආර්යාවගේ ලන්ඩනයේ නිල නිවස ලෙස මෙම මාළිගය භාවිතා කරනවා. දෙවැනි එලිසබත් රැජනගේ මව වන එලිසබෙත් බිසොව මෙම මාළිගයේ වාසය කළ අතර මහ රැජන ලෙස කිරුළු පැළඳීමට පෙර එලිසබත් රැජින සහ පිලිප් කුමරු තම දරුවන් සමඟ මෙම මාළිගයේ වාසය කළා. අනෙකුත් මාළිගාවලට සාපේක්ෂව මෙම මාළිගාව කුඩා මාළිගාවක් බවත් කිව යුතුයි.

 

5. ශාන්ත ජේම්ස් මාළිගය 

බකිංහැම් මාළිගය බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ ප්‍රධාන රාජකීය වාසස්ථානය වීමට පෙර එම ගෞරවය ලබා ගෙන සිටියේ ශාන්ත ජේම්ස් මාළිගයයි. එම මාළිගය භාවිතා කළ අවසන් රජු වන හතරවැනි විලියම් රජුගේ මරණයෙන් පසුව වික්ටෝරියා රැජන සහ ඇල්බර්ට් කුමරු බකිංහැම් මාළිගය තමන්ගේ වාසස්ථානය ලෙස යොදා ගැනීමට තීරණය කළා. කෙසේ වෙතත් මෙම මාළිගයේ තුළ පිහිටා ඇති දේවස්ථානයේ බොහෝ රාජකීයයන්ගේ විවාහ උත්සව සිදු කොට තිබෙනවා. වර්තමානයේ දී කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා වන විලියම් කුමරුගේ නිල කාර්යාලය පිහිටා තිබෙන්නේ මෙම මාළිගා පරිශ්‍රය තුළයි 

 

6. කෙන්සිංග්ටන් මාළිගය

තුන්වැනි විලියම් රජු විසින් මිලදී ගෙන ඇති මෙම මාළිගය ඊට පෙර නොටින්හැම් හවුස් ලෙස හැඳින්වී තිබෙනවා. ඉන්පසුව මෙම මාළිගය තුන්වැනි විලියම් රජු සහ ඔහුගේ බිරිඳ වන දෙවන මේරී රැජින ලන්ඩන් නගරයේ තමන්ගේ ප්‍රධාන නිල මාළිගය ලෙස භාවිතා කර තිබෙනවා. වික්ටෝරියා රැජින කුඩා කාලයේ දී මෙම මාළිගයේ වාසය කර තිබූ අතර ඇගේ මව විසින් පැනවූ දැඩි නීති රීති නිසා ඇයට මෙම මාළිගය පවා එපා වී තිබූ බව පැවසෙනවා. වර්තමානයේ දී මෙම මාළිගය විලියම් සහ කේට් යුවළ තමන්ගේ නිල වාසස්ථානය ලෙස භාවිතා කරනවා.

 

7. රෝයල් ලොජ් 

වින්සර් මාළිගා පරිශ්‍රයේම පිහිටි තවත් උප මාළිගාවක් විදිහට මෙම මාළිගය හඳුන්වන්න පුළුවන්. මීට පෙර දෙවන එලිසබත් රැජනගේ මව වන එලිසබෙත් බිසව විසින් මෙම මාළිගය භාවිතා කළ අතර ඇය මිය ගියේත් මේ මාළිගය තුළදීමයි. වර්තමානයේ දී යෝර්ක් හී ආදිපාදවරයා වන ඇන්ඩෘ කුමාරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙම මාළිගය භාවිතා කරනවා. 

 

එහෙමනම් නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

 

 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post