5. ගුරුකුල

අංගම්පොර කලාව කියන්නෙ හැමෝටම උගන්නන්න පුළුවන් කලාවක් නෙමෙයි. ඒ කිව්වේ සටන් කලාව ඉගෙන ගත්තත්, හොඳටම දැනගත්තත් හැමෝටම මේ කලාව උගන්නන්න බැහැ. ඒකට ඒ කාලේ ඉඳලම පැවතගෙන එන ප්‍රසිද්ධ ගුරුකුල දෙකක් තියෙනවා. ඒ තමයි සුදලිය සහ මරුවල්ලිය කියන පරම්පරා දෙක. තව වෙන වෙන සුළු පරම්පරා තිබුණත් මේ ප්‍රධාන පරම්පරා දෙක රජුට පක්ෂපාතීත්වයෙන් හිටපු පරම්පරා දෙකක් නිසා අද වෙනකන්ම අංගම් උගන්වන ගුරුකුල විදිහට පැවත එනවා කියල තමයි සඳහන් වෙන්නෙ. කොහොම උනත් ඒ කාලේ තිබුණ පිවිතුරු සටන් කලාව මේ දවස්වල ඒ විදිහෙන්ම ඉගැන්වෙන්නේ නම් නැහැ. ඒකත් ටිකෙන් ටික මුදලට විකිණෙන කලාවක් වෙමින් තියෙන බවක් තමයි පේන්නෙ.

 

6. සටන් ඉගැනුම

ඉගැන්නිල්ල වගේම තමයි ඉගෙන ගැනිල්ලත්. මේ සටන් කලාව ඉගෙන ගන්නත් ආවාට ගියාට බැහැ. ඒ කිපයන්නෙ හිටි ගමන් හිතෙන ඕනම කෙනෙකුට අංගම්පොර ඉගෙන ගන්න බැහැ. ඒ ඉගෙන ගන්න අවශ්‍ය කෙනාගෙ උපන් වෙලාව අනුව සකස් කරපු වේලා පත්කඩය පරික්ෂා කරල ඒකෙ ග්‍රහ පිහිටීම් අනුව තමයි තීරණය කෙරෙන්නෙ මේ පුද්ගලයට මේ කලාව පිහිටනවද, උගන්නන්න පුළුවන්ද කියල. එහෙම බලලා ගුරුවරයා තෝරාගන්න අයට තමයි සාමාන්‍යයෙන්නම් මේ අංගම්පොර උගන්වන්නේ.

 

7. අංගම්පොර තහනම

අපි කලින් සඳහන් කරපු මේ සටන් කලාවේ විශ්මිත භාවය නිසාම විදේශ ආක්‍රමණ වලදී ඒ ආක්‍රමණිකයින්ට මේ සටන් ගැන දැනගන්න ලැබෙනවා. ආයුධ මුකුත්ම නැතුව මිනිස්සු මැරිලා වැටෙන්න පහරදෙන මේ සටන් කලාව ගැන ඔවුන් විමතියට පත්වෙනවා. මේ සටන් ක්‍රමය නිසාම සිංහලයා පරද්දන්න අපහසු බව තේරුම් ගත්තු මේ විදේශ ආක්‍රමණිකයින් අංගම්පොර සටන් කලාව තහනම් කරනවා. ඒ 1818 වර්ෂයේදී. බ්‍රිතාන්‍ය ජාතිකයින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා මේ සටන් ක්‍රමය ලංකාව තුළ තහනම් කරනවා. ඒ නිසාම තමයි මේ සුවිශේෂී සටන් ක්‍රම අභාවයට යන්නෙ. ඒත් දිවි පරදුවට තියලා වනගත වෙලා වගේම ඉතා සූක්ෂම විදිහට උඩරට සම්ප්‍රදායික නැටුම් කලාවත් එක්ක මේ සටන් ක්‍රමයේ පිනුම් එහෙම එකතු කරලා ඒවා ආරක්ෂා කරගෙන ආපු පැරැන්නන් නිසාම අදටත් මේ සටන් ශිල්ප ක්‍රමය මේ මට්ටමින් හරි ආරක්ෂා වෙලා තියෙනවා.