පෘතුවියේ සිට දළ වශයෙන් කිලෝ මීටර බිලියන 23ක් (AU 153) දුරින් ගමන් කරන Voyager 1 අභ්‍යවකාශ ගවේෂණය යානය අදටත් පෘතුවිය සමග සන්නිවේදනය කරනු ලබනවා. මෙතරම් දුරකින් ගමන් කරන Voyager 1 යානය තවමත් පෘතුවිය සමග සන්නිවේදනය කරන්නේ කෙසේද? Voyager 1 යානය පෘතුවිය සමග සන්නිවේදනය කිරීම නවත්වන්නේ කවදාද?
අදින් වසර 43කට පෙර එනම් වර්ෂ 1977 සැප්තැම්බර් මාසයේ අභ්‍යවකාශගත කල Voyager 1 යානය මේ වන විට ආසන්න වශයෙන් පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 23ක දුරින් පැයට කි.මී. 61,500ක පමණ වේගයෙන් ගමන් කරමින් සිටිනවා. පෘතුවියේ සිට වැඩිම දුරක් ගමන් කර ඇති මිනිසා විසින් නිර්මාණය කල පළමු අභ්‍යවකාශ යානය වන්නේ ද Voyager 1 යානයයි. 1980 ගණන්වලදී අපගේ සෞරග්රහ මණ්ඩලයේ පිහිටා තිබෙන අවසාන ග්‍රහයන් 4 දෙනා වන බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන්ගේ දර්ශන සහිත ඡායාරූප මානව වර්ගයාට ප්‍රථම වරට දැක ගැනීමට ලබා දීමෙන් අනතුරුව සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ප්‍රදේශය ගවේශණය සදහා ගමන්
කරනු ලැබුවා. මෙසේ ආරම්භ කල ගමන සාර්ථකත්වයට පත් කරමින් වර්ෂ 2012 අගෝස්තු මාසයේදී Voyager 1 යානය සූර්යයාගේ සුළඟින් සෑදී ඇති ආරක්ෂිත බුබුල (heliosphere) හරහා අන්තර් තාරකා අභ්‍යවකාශය (interstellar space) වෙත ගමන් කරනු ලබනවා.
මේ ආකාරයෙන් අන්තර් තාරකා අභ්‍යවකාශයේ (interstellar space) ගමන් ඇරබි Voyager 1 යානය අද වන විට ආසන්න වශයෙන් සුර්යාගේ සිට කිලෝමිටර බිලියන 22කක පමණ දුරක් ගමන් කර තිබෙනවා. මෙතරම් දුරක් ගමන් කර තිබුනත් තවමත් පෘතුවිය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව Voyager 1 යානයෙන් ගිලිහී ගොස් නැහැ. මේ ගැන The Atlantic නැමති වෙබ් අඩවියේ ලේඛිකාවක් වන Marina Koren මහත්මිය ඉතාමත් ලස්සනට සදහන් කර තිබෙනවා. "And they still call home. It takes a while, but they do."
අභ්‍යවකාශයේ සිට සිදු වන සෑම සන්නිවේදන කටයුත්තක්ම සිදු වන්නේ විද්‍යුත් චුම්භක තරංග වල උපකාරය ඇතිවයි. රේඩියෝ තරංග, ක්ෂුද්‍ර තරංග, අධෝරක්ත විකිරණය, දෘශ්‍ය ආලෝකය, පාරජම්බුල විකිරණය, එක්ස් කිරණ සහ ගැමා කිරණ වැනි විද්‍යුත් චුම්භක තරංග අතරින් සන්නිවේදන කටයුතු සදහා යොදාගනු ලබන්නේ රේඩියෝ තරංග වේ. විද්යුත් චුම්භක තරංග විවිධ මාධ්‍යයන් තුළ විවිධ වේගයෙන් ගමන් කරත්, රික්තයක් තුළ සියලු විද්‍යුත් චුම්භක තරංග ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙනි. අභ්‍යවකාශය සම්පුර්ණයෙන්ම රික්තයක් නොවුනත් රික්තයකට සමාන ලක්ෂණ ඇති නිසා අභ්‍යවකාශය තුළත් විද්‍යුත් චුම්භක තරංග ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කරනු ලබනවා.
කෙසේ වෙතත්, පසුගිය වසර පනහක කාලය තුළ සන්නිවේදන තාක්‍ෂණයේ කැපී පෙනෙන දියුණුවත් සමඟ සන්නිවේදන කටයුතු සදහා Laser Communications Relay Demonstration (LCRD) ලෙස නව සන්නිවේදන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට NASA ආයතනය කටයුතු කරනු ලැබුවා. මෙහිදී රේඩියෝ තරංග වෙනුවට ලේසර් තාක්ෂණය භාවිතා කරනු ලබනවා. කෙසේ නමුත් Voyager 1 යානය නිර්මානය කරන සමයේ මෙම LCRD තාක්ෂණය සොයාගෙන නොතිබූ නිසා Voyager 1 යානයේ සන්නිවේදන කටයුතු සදහා භවිතා කරනු ලබන්නේ රේඩියෝ තරංග වේ.
Voyager 1 යානයේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට සහ තොරතුරු ලබා ගැනීමට අඩි 12ක විශ්කම්භයකින් යුක්ත high gain cassegrain ඇන්ටනා එකක් භාවිතා වෙනවා. අභ්‍යවකාශ යානයේ ඇති මෙම ඇන්ටනා එකෙහි දිශානතිය පෘථිවිය තිබෙන දිශාවට කර තබා ගැනීමට Attitude and Articulation Control Subsystem (AACS) එක භාවිතා කරනු ලබනවා. 2.3 GHz හෝ 8.4 GHz සංඛ්‍යාතයක් ඔස්සේ පෘතුවිය වෙත දත්ත සම්ප්‍රේෂණය කරන මෙම Voyager 1 යානය 2.1 GHz සංඛ්‍යාතයක් ඔස්සේ පෘතුවියෙන් පැමිනෙන දත්ත යානය තුලට ලබා ගැනීම සිදු කරනවා. පෘතුවියත් සමග යම් හේතුවක් නිසා සන්නිවේදනය බිද වැටී ඇති අවස්ථාවක දත්ත ගබඩා කර තබා ගෙන පසුව නැවතත් ඒවා සම්ප්‍රේෂණය කිරීම සදහා මෙගාබයිට් 67ක digital tape recorder (DTR) එකක්ද මෙම Voyager 1 යානය සතුව පවතිනවා.
Voyager 1 යානය radioisotope thermoelectric generators (RTG) තුනකින් බල ගැන්වෙනවා. RTG එකක් යනු න්යෂ්ටික බැටරියකි. විකිරණශීලී ද්‍රව්‍යයක් දිරාපත් වීමෙන් නිකුත් වන තාපය සීබෙක් ආචරණය මගින් විදුලිය බවට පරිවර්තනය කිරීම මෙහිදී සිදු වෙනවා.
Voyager 1 යානය සෑම දිනකම පෘතුවියට දත්ත සම්ප්‍රේෂණය කරනු ලබනවා. අභ්‍යවකාශ යානයේ අවට පරිසරය පිළිබඳ තොරතුරු තත්‍ය කාලයේම (real-time) ලබා ගෙන ඒවා රේඩියෝ තරංග ආකාරයෙන් පෘතුවියට සම්ප්‍රේෂණය කරනු ලබනවා. මෙසේ පැමිණෙන රේඩියෝ තරංග නාසා ආයතනයේ Deep Space Network (DSN) එකට අයිති බලවත් ඇන්ටනා මගින් හසුකර ගනු ලබනවා. Deep Space Network එක යනු නාසා ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන අභ්‍යවකාශ යානා සමග සන්නිවේදන කටයුතු කිරීම සදහා සන්නිවේදන පහසුකම් සපයන ලෝක ව්‍යාප්ත අධි බලැති ඇන්ටනා ජාලයකි. DSN එකට අයිති ඇන්ටනා ලොව පුරා ස්ථාපනය කර තිබෙනවා.