ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී 96 වසරකට පසු ප්‍රභාත් දැක්වූ දස්කම

https://assets.roar.media/assets/X4fSUQOH7AhPzrKB_prb.png

2022 ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී මේ දිනවල පැවැත්වෙනවා. දඟ පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරුවක පැවැත්වෙන එම තරගයේ දී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය දස්කම් අතරට යළි පිවිසීමට සමත් වුණා.

එහි දී ඔහු පාකිස්තාන පළමු ඉනිමේ කඩුලු 5ක් ලකුණු 82කට දවා ගත්තා. ඒ අයුරින් කඩුලු 5ක් දවා ගත් ප්‍රභාත් වසර 96කට පසුව ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ විරළ දස්කමක් දැක්වීමට සමත් වුණා.

පාකිස්තානයට එරෙහිව පන්දුවෙන් දස්කම් පෑ ප්‍රභාත් ජයසූරිය (gettyimages.com)

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී පෑ සුපිරි හපන්කම 

2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ප්‍රභාත් ජයසූරිය ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ දී ලකුණු 118කට කඩුලු 6ක් දවා ගත්තා. ඉන් පසුව ඕස්ට්‍රේලියානු දෙවනි ඉනිමේ දී යළි සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 59කට කඩුලු 6ක් දවා ගත්තා.

සිය මංගල ටෙස්ට් තරගයේ දී ම කඩුලු 12ක් බිඳ දමමින් සුවිශේෂී දස්කමක් දැක්වූ ප්‍රභාත් මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවා. එය ප්‍රභාත්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන තරගය යි. එම තරගයේ පළමු ඉනිමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ප්‍රභාත් ලකුණු 82කට කඩුලු 5ක් දවා ගත්තා. 

මංගල ටෙස්ට් තරගයේ දී පන්දුවෙන් දස්කම් පෑ ප්‍රභාත් - gettyimages.com

ඒ අනුව ප්‍රභාත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මුල් ඉනිම් 3දී ම කඩුලු 5 බැගින් දවා ගෙන තිබෙනවා. ඔහුට පෙර ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ  එවැනි විරළ ගණයේ දස්කමක් දැක්වීමට සමත් වුණේ පන්දු යවන්නන් දෙදෙනෙක් පමණ යි.

ඒ අතරින් එංගලන්ත වේගපන්දු යවන්නෙක් වුණු තෝමස් රිචඩ්සන් එම දස්කම දැක්වූයේ 1893 සහ 1894 වසරවල දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ යි. එහි දී ඔහු සිය මංගල ටෙස්ට් තරගයේ දී 49/5 සහ 107/5 ලෙසින් කඩුලු ලබා ගෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී 181/5 ලෙසින් කඩුලු බිඳ දැමුවා.

තෝමස් රිචඩ්සන් - wikimedia.org

තෝමස් රිචඩ්සන්ගෙන් පසුව එම දස්කම දැක්වූයේ ක්ලැරී ග්‍රිමට් නම් ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන්නා යි. ඒ 1925 සහ 1926 වසරවල දී එංගලන්ත කණ්ඩායම හමුවේ යි. එහි දී ඔහු සිය මංගල ටෙස්ට් තරගයේ දී 45/5 සහ 37/6 ලෙස කඩුලු දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වුණා. ඉන් නොනැවතුණු ග්‍රිමට් දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී 88/5 ලෙසින් කඩුලු දවා ගත්තා.

ග්‍රිමට් එම විරළ දස්කම දක්වා වසර 96ක් ගතවෙද්දී ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය නැවතත් එම දස්කම දැක්වීමට සමත් වුණා. යම් අයුරකින් ප්‍රභාත් ඊළඟ ටෙස්ට් ඉනිමේ දීත් කඩුලු 5ක් දවාගතහොත් ඔහුට සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට අවස්ථාව හිමි වෙනවා.

ක්ලැරී ග්‍රිමට් - twitter.com

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ පාලනය ශ්‍රී ලංකාවට 

තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පන්දුවට මුලින් පහර දීමට තීරණය කළා.  පාකිස්තාන පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාව ලැබුණේ නැහැ. 

එනිසා පන්දුවාර 66.1ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම ලකුණු 222කට සීමා වුණා. එහි දී හුදෙකලා සටනක නිරත වුණු දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 76ක් ලබා ගත්තා. පාකිස්තානය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ෂහීන් අෆ්රිඩී ලකුණු 58කට කඩුලු 4ක් දවා ගත්තා. 

පිත්තෙන් දස්කම් පෑ දිනේෂ් චන්දිමාල් - gettyimages.com

ඉන් අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන පිතිකරුවන් ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ට දඟපන්දු යැවීම හමුවේ අන්දමන්ද වුණා. එනිසා ඔවුන්ගේ මුල් කඩුලු 7 ලකුණු 85ක දී දැවී ගියා.

එයින් කඩුලු 5ක් දැවී ගියේ ප්‍රභාත්ගේ පන්දු හමුවේ යි. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වැඩි වාසි හිමි ව තිබුණු අවස්ථාවක ක්‍රියාත්මක වුණු පාකිස්තාන නායක බාබර් අසාම් අගනා ලකුණු 119ක් ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාකිස්තාන පළමු ඉනිම ලකුණු 218 දී නිමාව දුටුවා. 

බාබර් අසාම් ශතකය ලබාගත් මොහොත - gettyimages.com

දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන දිනය නිමාව දකිද්දී කඩුලු 1ක් දැවී ලකුණු 36ක් ලබා සිටියා. තරගයේ තෙවන දිනයේ උදෑසන ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවා විවේකය සඳහා තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 132ක් ලබාගෙන සිටියා. මේ  තරගයේ දෙවන දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ලකුණු පුවරුව සටහන් වුණු ආකාරය යි. 

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 222/10, (චන්දිමාල්- 76, තීක්ෂණ- 38, අෆ්රිඩී- 58/4, හසන්- 23/2, යසීර්- 66/2)

පාකිස්තාන පළමු ඉනිම- 218/10, (අසාම්- 119, ප්‍රභාත්- 82/5, රමේෂ්- 18/2, තීක්ෂණ- 68/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 132/2, (ඕෂධ- 64*, කුසල්- 45*, නවාස්- 36/2)

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට වඩා ලකුණු 136ක් ඉදිරියෙන්

ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ තොරතුරු 

18 වන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අමෙරිකාවේ ඉයුජින් හි දී පසුගිය සිකුරාදා ආරම්භ වුණා. රටවල් 192ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා තරග ඉසව් 50ක් ඇතුළත්. ජූලි 17 වැනිදා වන විට මෙම තරගාවලියේ ඉසව් 15ක් නිමාවට පත්ව තිබුණා. එහි දී බෙදා දුන් රන් පදක්කම් 15කින් 6ක් හිමි වුණේ අමෙරිකාවට යි. මේ එක් එක් ඉසව්වේ රන් පදක්කම් බෙදී ගිය ආකාරය යි.

1). මීටර් 100 පිරිමි- ෆ්රෙඩ් කර්ලි (අමෙරිකාව)

2). මීටර් 100 කාන්තා- ෂෙලී-ඈන් ෆ්රේසර්-ප්‍රයිස් (ජැමයිකාව)

3). මීටර් 10000 පිරිමි- ජෝෂුවා චෙප්ටගායි (උගන්ඩාව)

4). මීටර් 10000 කාන්තා- ලෙටෙසෙන්බෙට් ගිඩී (ඉතියෝපියාව)

5). රිටි පැනීම කාන්තා- පෝල් නැගෝටි (අමෙරිකාව)

කාන්තා මීටර් 100 ඉසව්ව ජයගත් ෂෙලී-ඈන් - gettyimages.com

6). මීටර් 110 කඩුලු පැනීම පිරිමි- ග්‍රාන්ට් හොලොවේ (අමෙරිකාව)

7). කිලෝමීටර් 20 ඇවිදීම පිරිමි- ටොෂිකාසු යමනිෂී (ජපානය)

8). කිලෝමීටර් 20 ඇවිදීම කාන්තා- කිම්බර්ලි ගාර්සියා (පේරු)

9). දුර පැනීම පිරිමි- වැංග් ජිආනන් (චීනය) 

10).  මැරතන් පිරිමි- ටමිරට් ටෝලා (ඉතියෝපියාව) 

පිරිමි දුර පැනීමේ රන් පදක්කම දිනාගත් චීනයේ වැංග් - gettyimages.com

11). යගුලිය විසි කිරීම පිරිමි- රයන් කෘසර් (අමෙරිකාව)

12). යගුලිය විසි කිරීම කාන්තා- චේස් ඊලි (අමෙරිකාව)

13). මිටිය විසි කිරීම පිරිමි- පවෙල් ෆජ්ඩෙක් (පෝලන්තය) 

14). මිටිය විසි කිරීම කාන්තා- බෘක් ඇන්ඩර්සන් (අමෙරිකාව)  

15). මීටර් 4x400 සහාය දිවීම මිශ්‍ර- ඩොමිනිකන් සමූහාණ්ඩුව

මීටර් 4x400 සහාය දිවීම මිශ්‍ර ඉසව්ව ජයගත් ඩොමිනිකන් සමූහාණ්ඩු කණ්ඩායම - gettyimages.com

මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 කාන්තා තරග ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ යන පදක්කම් ත්‍රිත්වය ම දිනා ගත්තේ ජැමයිකාව යි. මෙම තරගාවලි ඉතිහාසයේ එවැනි සිදුවීමක් වාර්තා වුණේ මුල් ම වතාවට යි. මීටර් 100 පිරිමි තරග ඉසව්වේ රන්, රිදී, ලෝකඩ යන පදක්කම් තුන හිමිවුණේ අමෙරිකාවට යි.

තරගාවලි ඉතිහාසය තුළ එවැනි සිදුවීමක් වාර්තා වුණේ 1991 වසරෙන් පසුව යි. මෙම තරග ඉසව්ව යටතේ තරග කළ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට මූලික තරග වටයේ පස්වන ස්ථානය හිමි වුණා.

මීටර් 100 පිරිමි ඉසව්වේ පදක්කම් දිනා ගත් අමෙරිකානුවෝ - gettyimages.com

ජූලි 17 වැනි දිනට අදාළ තරග ඉසව් නිමාවට පත්වෙද්දී රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගෙන සිටින අමෙරිකාව පදක්කම් සටහනේ පෙරමුණේ පසුවෙනවා.

රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කමක් දිනා ගෙන සිටින ඉතියෝපියාව පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවෙද්දී රන් පදක්කම් 1ක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගෙන සිටින පෝලන්තය පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ පසුවෙනවා. 

ජූලි 17 වැනිදා වන විට පදක්කම් සටහන දැක්වුණු ආකාරය (worldathletics.org)

අයර්ලන්තයට ඓතිහාසික රග්බි තරගාවලි ජයග්‍රහණයක් 

නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවති තරග 3කින් සමන්විත රග්බි ටෙස්ට් තරගාවලිය නවසීලන්තයේ වෙලිංටන් හි දී පසුගිය සෙනසුරාදා නිමාවට පත්වුණා. එහි දී සංචාරක අයර්ලන්ත කණ්ඩායම තරග 2-1ක් ලෙසින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගත්තා.

එය වසර 116ක නවසීලන්ත-අයර්ලන්ත රග්බි තරගාවලි ඉතිහාසයේ අයර්ලන්ත කණ්ඩායමක් නවසීලන්තය හමුවේ රග්බි ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගත් මුල්ම අවස්ථාව යි. මේ එම තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි.

1). පළමු තරගය 

නවසීලන්තය- 42

අයර්ලන්තය- 19

2). දෙවන තරගය 

අයර්ලන්තය- 23

නවසීලන්තය- 12

3). තෙවන තරගය 

අයර්ලන්තය- 32

නවසීලන්තය- 22

ජයග්‍රාහී අයර්ලන්ත කණ්ඩායම- gettyimages.com

ඉන්දියාවට විශිෂ්ට එක්දින තරගාවලි ජයග්‍රහණයක් 

තරග 3කින් සමන්විත වුණු ඉන්දු-එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දී ඊයේ දිනයේ දී නිමාවට පත්වුණා. එම තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කළේ සංචාරක ඉන්දීය කණ්ඩායම යි.

එහි දී තෙවන එක්දින තරගයේ දී ඉන්දියාවේ රිෂ්බා පන්ට් නොදැවී ලකුණු 125ක් ලබා ගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම සුවිශේෂී සිදුවීමක් වුණා. 

රිෂ්බා පන්ට් ශතකය ලබාගත් අවස්ථාව - gettyimages.com

ඉන්දීය කණ්ඩායමක් එංගලන්ත බිමේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත්තේ 2014 වසරෙන් පසුව යි. තරගාවලිය පුරාවට පිත්තෙන් ලකුණු 100ක් ලබා ගෙන පන්දුවෙන් කඩුලු 6ක් දවාගත් හාර්ඩික් පාණ්ඩ්‍යාට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. මේ එම තරගාවලියේ තරගවල ප්‍රතිඵල සටහන් වුණු ආකාරය යි. 

තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් හාර්ඩික් පාණ්ඩ්‍යා - gettyimages.com

1). පළමු තරගය- ඉන්දියාවට කඩුලු 10ක ජයක් 

එංගලන්තය- 110/10 (25.2)

ඉන්දියාව- 114/0 (18.4)

තරගයේ වීරයා- ජස්ප්‍රිට් බූම්රා (ලකුණු 19කට කඩුලු 6 යි)

2). දෙවන තරගය- එංගලන්තයට ලකුණු 100ක ජයක් 

එංගලන්තය- 246/10 (49)

ඉන්දියාව- 146/10 (38.5)

තරගයේ වීරයා- රීසා ටෝප්ලි (ලකුණු 24කට කඩුලු 6 යි)

3). තෙවන තරගය- ඉන්දියාවට කඩුලු 5ක ජයක් 

එංගලන්තය- 259/10 (45.5)

ඉන්දියාව- 261/5 (42.1)

තරගයේ වීරයා- රිෂ්බා පන්ට් (පන්දු 113කින් නොදැවී ලකුණු 125 යි)

තරගාවලියේ ශූරතාව දිනා ගත් ඉන්දීය කණ්ඩායම - gettyimages.com

කවරයේ ඡායාරූපය- පාකිස්තානයට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය - gettyimages.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

worldathletics.org

rugby.com.au

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post