රස ගුණ පිරි රොටි රෙසිපි 7ක්

 ලංකාවේ රොටී ලෝලීන්ට ඔන්න රස රැසකින් රොටී ගෙනාවා. රොටි කිව්වම අපිට මතක්වෙන්නෙ පොල් රොටි, පරාටා වගේ රොටි ජාතිනෙ. හැබැයි ඉතින් රොටි කියන්නෙ එක එක විදියට රස රැසකින් හදාගන්න පුළුවන් කෑමක්. පොඩි බඩගින්නට වගේම උදේකට හරි රෑකට හරි කෑම වේල සම්පූර්ණ කරගන්න මේ රොටි වලින් පුළුවන්. මේවා හදන්න හරි ලේසියි. ඒ වගේම ගුණෙනුත් වැඩියි. පොඩි අයට වගේම ලොකු අයටත් කන්න ආසා හිතෙන රොටී එහෙනම් අනිවාර්යෙන්ම හදලා බලන්න.


1. දෙල් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් දෙල් ගෙඩියක්
  2. පාන්පිටි ග්‍රෑම් 175ක් හෝ අවශ්‍ය පමණ
  3. චොප්කරගත් ළූණු ගෙඩියක්
  4. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  5. අබ තේ හැඳි 1
  6. චොප්කරගත් සුදුළූණු බික් 2
  7. ලුණු ස්වල්පයක් 
  8. කහකුඩු තේ හැඳි 1/4
  9. චොප්කරගත් කරපිංචා ස්වල්පයක් 
  10. බටර් මේස හැඳි 2

 

  • භාජනයක් ලිපේ තියලා බටර් ටික දාලා මෙල්ට් වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරනකොට චොප්කරගත් සුදුළූණු, අමුමිරිස් හා ළූණු එකතු කරන්න.
  • ටිකකින් කරපිංචා ටික දාලා කහකුඩු හා රස අනුව ලුණු දාගන්න. ළූණු තෙම්පරාදු උනාම තම්බාගත් දෙල් ටික දාලා කලවම් කරන්න. 
  • ඊළඟට මේ ඩෝ එකට පාන්පිටි ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. දෙල් වල ස්වභාවය අනුව අතේ නොඇලෙන්න හදාගන්න අවශ්‍ය පිටි ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. 
  • දැන් තරමක බෝල හදලා තෙල් ගාගත් පිඟානක දාලා තුනී කරගන්න. මේක පෑන් එකකට පරිස්සමට දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

 

2. ඕට්ස් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. ඕට්ස් කෝප්ප 1/2
  3. ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1/4
  4. චොප්කරගත් ලීක්ස් මේස හැඳි 2
  5. ලුණු ස්වල්පයක් 
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1/4

 

  • මේ සියල්ලම කලවම් කරලා වතුර ටික ටික දාලා ඩෝ එකක් හදාගන්න. මේක වහලා පැය 1/2ක් තියන්න. 
  • පිටි ඉහගත් මතුපිටක රොටී බෝල හදලා තුනීකරගන්න. දෙපැත්ත පුළුස්සගන්න.

 

3. කී රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි ග්‍රෑම් 500
  2. සීනි තේ හැඳි 1
  3. මිටිකිරි කෝප්ප 2
  4. ලුණු ස්වල්පයක් 

 

කිරි මිශ්‍රණයට 

 

  1. පොල්කිරි කෝප්ප 2
  2. සීනි කෝප්ප 1/4
  3. ලුණු ස්වල්පයක් 
  4. පාන්පිටි මේස හැඳි 4

 

  • කිරි මිශ්‍රණය හදාගන්න පොල්කිරි වලට සීනි හා ලුණු දාලා දියකරලා පාන්පිටි ටිකත් දාලා කැට නැති වෙනකල් විස්ක් කරගන්න. දැන් මේක ලිපේ තියලා පොඩ්ඩක් උකු වෙනකල්  හැඳිගාන්න. මේක පැත්තකින් තියාගන්න.
  • රොටිය හදන්න හාල්පිටි වලට සීනි, ලුණු දාලා කලවම් කරලා පොල් කිරෙන් අනාගන්න. 
  • පැය 8ක් වගේ පිපෙන්න තියලා ආප්ප තාච්චියට දාලා රොටිය හදාගන්න. ආප්ප වගේ කරකවන්න එපා. ඝනකමට රොටිය හදාගන්න. 
  • දැන් සාදාගත් රොටි ටික පොල්කිරි මිශ්‍රණයට දාලා පැයක් විතර තියලා කෑමට ගන්න.

 

4. අල රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බාගත් අල කෝප්ප 1
  2. පාන්පිටි කෝප්ප 1/2
  3. පොල් කෝප්ප 1
  4. ලුණු ස්වල්පයක් 
  5. බටර් මේස හැඳි 1

 

  • තම්බාගත් අල වලට පොල් හා ලුණු දාලා කලවම් කරගන්න. දැන් පාන්පිටි ටික ටික දාලා ඩෝ එකක් හදාගන්න.
  • දැන් බටර් ටිකක් තැටියක ගාලා මේ ඩෝ එකෙන් ටික ටික අරන් පොඩි බෝල හදාගන්න.  
  • මේ බෝල තුනී කරලා රොටී හදාගන්න. රත්වුණු තැටියකට දාලා දෙපැත්ත පුළුස්සගන්න.

 

5. පාන් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 250
  2. යීස්ට් තේ හැඳි 1
  3. සීනි තේ හැඳි 1
  4. ලුණු පින්ච් එකක්
  5. ලා රස්නෙ වතුර ස්වල්පයක් 

 

  • මේ ඔක්කොම දාලා අතේ ඇලෙන ඩෝ එකක් හදාගන්න. දැන් මේක තෙත රෙද්දකින් වහලා පැය 2ක් පිපෙන්න තියන්න.
  • ආයෙ හොඳට නීඩ් කරලා තරමක බෝල හදාගන්න. රෝලින් පින් එකෙන් තුනී කරලා පෑන් එකකට දාලා දෙපැත්ත පුළුස්සගන්න.

 

6. මාළු රොටි 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන් පිටි 500g
  2. පොල් කිරි කොප්ප 1 
  3. වතුර කෝප්ප 3 
  4. රස අනුව ලුණු කුඩු 

 

මාළු ෆිලින් එකට

 

  1. තම්බාගත් තලපත් මාළු ග්‍රෑම් 100
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. තෙල් ස්වල්පයක් 
  4. ලියාගත් කරපිංචා ස්වල්පයක්
  5. ලියාගත් ළූණු ස්වල්පයක් 

 

  • තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට ළූණු හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. මේකට මාළු ටික කුඩු කරලා දාලා ටිකක් බැදෙන්න අරින්න රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
  • පාන් පිටි, පොල් කිරි, වතුර හා ලුණු දාලා බීට් කරගන්න. මිශ්‍රණය ගොඩාක් ඝනකමට ගන්න එපා. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔයිල් ටිකක් ගාලා මිශ්‍රණය එකට දාලා කරකවන්න.  
  • ඊළඟට රොටියේ මැදට හදා ගත්ත මිශ්‍රණය තියලා කොටු හැඩයට නමා ගන්න. 

 

7. බොම්බෙ රවා රොටි 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රුලං කෝප්ප 2
  2. පාන්පිටි කෝප්ප ¼
  3. වතුර කෝප්ප 2
  4. ලුණු කුඩු රස අනුව 
  5. තෙල් තේ හැඳි 2

 

  • වතුර රත්වෙන්න තියලා ඒකට ලුණු සහ තෙල් එකතු කරන්න. වතුර උතුරගෙන එනකොට ඒකට රුලං ටික එකතු කරන්න. රුලං තැම්බෙනකම් හොඳින් කලවම් කරගන්න. 
  • ලිපෙන් බාලා ටිකක් නිවෙන්න ඇරලා මේකට පාන් පිටි එකතු කරගෙන අතේ නොඇලෙන ඩෝ එකක් අනාගන්න. 
  • ඊළඟට ඒක විනාඩි 30 ක් විතර වහලා තියන්න. දැන් රෝලින් පින් එකකින් පිටි තවරගත්ත ලෑල්ලක තුනී කර ගෙන රවුම් කපා ගෙන රොටි තැටියක දෙපැත්ත පුච්චගන්න. 
W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post