කළු වෙරළ ගැන අහලා තියෙනවද?



සාමාන්‍යයෙන් අපිට වෙරළක් කියපුවහම මතක් වෙන්නේ සුදු පාටට හුරු දුඹුරු පාටක් තියන වැළිවලින් සමන්විත වුණු වෙරළවල්නේ. නමුත් අද අපි කතාකරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් හරි අපූරු කළු පාට වෙරළක් ගැන. එහෙනම් වැඩි විස්තර නැතුව අපි යොමුවෙමු මේ වෙරළ ගැන තොරතුරු දැනගන්න. 

 

1. පිහිටීම

ඉතින් මේ හරි අපූරු කළු වෙරළ තියෙන්නේ අයිස්ලන්තයේ. අයිස්ලන්තයේ දකුණු වෙරළ තීරයේ තියෙන වීකි මිර්ඩාල් කියන කුඩා ධීවර ගම්මානය අසළ තමයි මේ වෙරළ පිහිටලා තියෙන්නේ. මේ වෙරළ හඳුන්වන්නේ රේනිස්ෆ්ජාරා (Reynisfjara) කියන නමින්. නිල් පාට මුහුදයි කළු පාට වෙරළයි මුළු ගමටම හරි අපූරු ලස්සනක් එකතු කරනවා. 

 

2. කළුපැහැයට හේතුව 

මේ වෙරළ හිමිකම් කියන අරුම පුදුම කළු පාටට හේතුව ගැන ගොඩාක් අය ගොඩාක් මත කියනවා. ඒත් ඉතින් ගොඩාක් අය පිළිගන්න මතය වෙන්නේ අවුරුදු ගාණකට කලින් මේ වැල්ල සාමන්‍ය විදියට තිබ්බත් පිපුරුණු ගිනිකන්දකින් ආපු ලාවා හින්දා මේ වෙරළේ තිබ්බ වැළි හිමිට හිමිහිට කළු පාටට ඝනීභවනය වෙලා තියෙනවා කියන එක. ඒකට අමතරව තවත් ගොඩාක් මත තියෙනවා ඉතින් මේ කළු පාට ලැබිච්ච හැටි ගැන… 

 

3. රෙනිෆ්සල් කන්ද 

මේ වෙරළ ළග තියෙනවා කන්දක්. ඒ කන්දේ නම රෙනිස්ෆල් (Reynisfjall) ඉතින් මේ කන්ද මීටර් 340ක් විතර උසයි. මේ කන්ද අනිත් කඳු වලට වඩා වෙනස් වෙන්නේ මේ කන්ද තියෙන්නේ හරියට පිරමීඩයක් වගේ වීම නිසයි. ඉතින් ඊජිප්තුවේ මිනිස්සු හදපු පිරමීඩ වගේම සොබාදම් මාතාව මවපු පිරමීඩත් හරිම විශ්මිතයි. මේ කන්ද බලන්නත් මෙහෙට යන සංචාරකයන් අමතක කරන්නේ නැහැ…

 

4. සංචාරක ආකර්ෂණය 

මේ වෙරළේ තියන වෙනස් පෙනුම, ඒ කියන්නේ කළු පාට හින්දා ගොඩාක් සංචාරකයෝ මේ වෙරළේ ලස්සන බලන්න එනවා. ඒ වගේම මේ වෙරළට යන සංචාරකයන්ට දින 6ක ගිම්හාන නිවාඩු පැකේජයක් ඇතුළුව තවත් ගොඩාක් දකුණු වෙරළ සංචාරයන් හම්බ වෙනවා. ඒ වගේම රිය පැදවීමට කැමති සංචාරකයන්ට ඒ වෙනුවෙන් මෙහි දින 10ක පමණ ස්වයං-ධාවන චාරිකාවක තියෙනවා ඔවුන්‍ටම කියලා වාහන නැත්නම් මේ වෙරළ වටේ යන්න ඔවුන්ගේ කුලී මෝටර් රථ සපයන සේවාවන් වුණත් තියෙනවා… 

 

5. ජනප්‍රිය සිනමාවේ 

මේ වෙරළ ඉතින් ෆිල්ම් පිස්සො, ටීවී සීරීස් පිස්සෝ එහෙම ගොඩක් දැකලාත් ඇති. මොකද ඉතින් මේ වෙරළ ගොඩාක් චිත්‍රපට, ටෙලිනාට්‍ය වලට එහෙම පසුබිම් වුණා. ජනප්‍රියම එක කිව්වොත් “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” කතා මාලාවටත් මේ වෙරළ පසුබිම් කරගෙන රූගත කිරීම් කරල තියෙනවා. ඒ වගේම අතිශයින් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වෙච්ච “දිල්වාලේ” චිත්‍රපටයෙ “ගේරුවා” ගීතයෙත් මේ සුන්දර වෙරළ ආශ්‍රිතව රූගත කළ දර්ශන තියෙනවා…

 

6. භයානක බව

 

 

දැන් ඉතින් මේ ටික කියවලා ඔයාලටත් යන්න හිතෙන්නැති මේ වෙරළට. ඒත් ඉතින් මේ වෙරළේ ලස්සන වගේම භයානක දේවලුත් ඒ තරම්ම වෙනවා කියන එකත් කියන්න ඕන. එකක් තමා මේ මුහුදේ අනික් මුහුද වල වගේ පීනන්න බැහැ. බැහැ කිව්වට බැරිමත් නෑ. නමුත් එහි ඒ වතුර ඉතාම සීතලයි. පීනන්න ගිහින් ගොඩාක් ජීවිත අනතුරුත් වෙලා තියෙනවා. විශේෂයෙන් පුංචි දරුවන් රැසක් මේ රැල්ලට ගහගෙන ගිහින් තියෙන නිසාත් මේ වෙරළට යන කෙනෙක් නම් ගොඩාක් පරිස්සම් වෙන්නත් ඕනෙ. හදිස්සියට ලයිෆ් ගාර්ඩ් කෙනෙක්වත් අපිට හම්බෙන්නෙ නෑ මේ වෙරළේ…

 

7. ජනප්‍රවාද

 මේ වෙරළේ කළු පැහැය ගැන වගේම එහි පිහිටා තිබෙන අමුතු හැඩයේ ගල් ගැනත් ගොඩාක් මත තියෙනවා. ඉතින් ඒ වගේ එක සංස්කෘතික ජනප්‍රවාදයක් ගැන කියන්නම්. ඒ ජනප්‍රවාදයේ තියෙන විදියට එක ස්වාමිපුරුෂයෙක්ගේ භාර්යාවව අද්භූත මුහුදුජීවීන් දෙන්නෙක් විසින් පැහැර ගෙන ගොස් මරා දමනවා. ඊට පස්සේ මේ සැමියා ඔවුන්ව සොයා ගිහින් පළිගැනීමක් හැටියට ඔවුන්ව ගල් කරනවා. වෙරළේ පිහිටා තිබෙන අමුතු හැඩයේ ගල්වලට හේතුව එය බවයි එම පැරණි ජනප්‍රවාදයේ පැවසෙන්නේ. 

 

ඉතින් මේ අරුම පුදුම වෙරළ ගැන ඔයාලගේ අදහසුත් අපට කියන්න. ඒ වගේම මේ වගේ වෙනස් වෙරළවල් ගැන අපිට කියන්නත් මේ තොරතුරු යාළුවොත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා…

 

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post