මායාකාරී ඩිස්නිලන්තය ගැන රසබර වැදගත් තොරතුරු

 


පාක් දෙක තුනක් දරුවන්ට සෙල්ලම් කරන්න තිබුණාට ජාත්‍යන්තර වශයෙන් ඉහළ අත්දැකීම් ගන්න තියෙන තීම් පාක් ලංකාවේ නැහැ. තීම් පාක් කියන්නේ විශාල වපසරියක අත්දැකීම් ගණනාවක් ගන්නට තියෙන, විනෝද වෙන්න පුළුවන් තැනක්. වෝල්ටර් ඩිස්නිගේ ඩිස්නිලෑන්ඩ් මේ තීම් පාක් කියන කන්සෙප්ට් එක වෙනස් කළා. සිනමාවේ ජනප්‍රිය චරිත දරුවන්ට සහ රසිකයින්ට සමීප කරන්නට ඩිස්නි සමත් වුණා. ඒ හරහා චිත්‍රපට වල තියෙන මායාකාරී කාටූන් ලෝකය සැබැවින්ම දකින්නට ඩිස්නි පාක් වලට ගිය අයට පුළුවන් වුණා.

 

1. ඇවෙන්ජර්ස් කැම්පස්

කැලිෆෝනියාවේ ඩිස්නිලත්නය කොවිඩ් නිසා කාලයක් වහලා තිබුණා. දැන් කැලිෆෝනියා ඩිස්නිලන්තයට අලුතින් ඇවෙන්ජර් කැම්පස් එකත් එකතු වෙලා. ඇවෙන්ජර් කැම්පස් එකේ ඇවෙන්ජර්ස් චිත්‍රපට වල තරු සජීවීව දැකගන්නට ලැබෙනවා. රොබෝ තාක්ෂණය සහ නිරූපකයින් යොදාගෙන සුපිරි වීරයෝ වගේම වීරයින්ගේ ත්‍රාසජනක වැඩකිඩත් සජීවීව පාක් එකට එන අයට පෙන්වන්න කටයුතු සකසලා තියෙනවා. මේ අවකාශය තුළ ස්පයිඩර් මෑන්ගේ රයිඩ් එකක් වගේම බ්ලැක් පැන්තර්, බ්ලැක් විඩෝ, තෝර් වගේ සුපිරි වීරයින්ගේ වැඩත් බලාගන්නට පුළුවන්කම ලැබේවි. එය ඩිස්නිලන්තය තවත් ආකර්ෂණීය කරන විශේෂාංගයක් කියලා සමාගම විශ්වාස කරනවා.

 

 

2. කොවිඩ් සහ ඩිස්නිලන්තය

කොවිඩ් නිසා ලෝකය පුරා තියෙන ඩිස්නිලන්ත වසරකට වැඩි කාලයක් වහලා තියන්න වුණා. කැලිෆෝනියාවේ තියෙන සුවිසල් ඩිස්නිලන්තය මෑතකදි විවෘත කළා. ඒකෙදි වුණත් කලින් තිබුණ විනෝදාස්වාද අවස්ථා 85න් දැන් තියෙන්නේ 45ක් පමණයි. ඒකත් මහජනයාට එකිනෙකා අතර පරතරය පවත්වාගන්න හැකිවෙන්න සුළු පිරිසක් පමණක් ඩිස්නිලන්ත පාක් එක ඇතුළට ගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව ගිණිකෙළි, පෙළපාලි සහ පෝලිම් ඇතිවන ඇක්ටිවිටීස් නවත්වලා දාලා තියෙනවා. සම්පූර්ණ ඩිස්නිලන්ත අත්දැකීම නැති වුණත් ඩිස්නිලන්තය නැවත විවෘත වීම ඒ පාක් එකේ විනෝද වෙන්න හිටිය අයටනම් හොඳ ආරංචියක්.

 

3. අධික මිල

මේ ඩිස්නිලන්තය කියන්නේ ලාබ අත්දැකීමක් නම් නෙමෙයි. එක් අයකුට හොංකොං ඩිස්නිලන්තයේදි රුපියල් විසිතුන්දාහක විතර ටිකට් එකක් ගන්නට ඕනි. ඩිස්නිලන්තය ගණන් වැඩිවෙන්න එහි තිබෙන සජීවීකරණ අත්දැකීම් හදන්න සහ නඩත්තු කරන්න යන විශාල වියදම බලපානවා. උදාහරණ විදිහට අලුතින් කැලිෆෝනියා ඩිස්නිලන්තයට එකතු වෙන ඇවෙන්ජර්ස් කැම්පස් කියන කොටසට විතරක් ඩොලර් බිලියන 2.6ක් වියදම් වෙනවා. ඒ ආකාරයෙන් ඩිස්නිලන්තයක් හදන්න වියදම් වෙන මේ ඩොලර් බිලියන ගාණක අධික මිල සහ එය නඩත්තු කරන්න යන වියදම නිසා ඩිස්නිලන්තයේ ටිකට් පත් මොන ඩිස්නිලන්තයෙන් ගත්තත් අපිට නම් ලාභදායී ගුවන් ගමනකට යන තරම් වියදමක් ඒ ටිකට් වලට වියදම් වෙනවා.

 

 

4. ඩිස්නිලන්තය ආරම්භය

අද වෙච්චි ශාඛා ගොඩක් තිබුණට ඩිස්නිලන්තය මුලින්ම පටන් ගත්තේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ. එතකොට ලංකාවේ අගමැති සර් ජෝන් කොතලාවල. ඒ කිව්වේ 1955 තමයි මේ ඩිස්නිලන්තය ආරම්භ වුණේ. අක්කර 160ක භූමිභාගයක පටන් ගත්ත මේ තීම් පාක් එකට ඒ කාලේ ඩොලර් මිලියන 17ක් වියදම් වුණා. අද වනවිට ඩිස්නිලන්තය මිලියන 18ක සංචාරකයන් වසරකට යන තැනක්. එතකොට අවුරුද්දකට ආදායම ඩොලර් බිලියන 3 පනිනවා ඇමරිකාවේ කැලිෆෝනියා ඩිස්නිලන්තයේ විතරක්.

 

 

5. මොනවාද මුලින්ම බලන්න තිබුණේ? 

කවුරුත් දන්න විදිහට ඩිස්නිලන්තය පටන් ගත් වෝල්ටර් ඩිස්නි තමයි මිකී මවුස්, ඩොනල්ඩ් ඩක් වගේ කාටූන් චරිත වලට පණ දුන්නේ. ඔහුගේ කාටූන් චරිත ලොව වටා ජනප්‍රිය වීමත් සමගම සජීවීව ඒ කාටුන් චරිත සමීප කරන්න අදහසක් ඩිස්නිට ආවා. ඒත් අවාසනාවන්ත විදිහට අපේ රුවන්වැලිසෑය හදන්න කලියෙන් දුටුගැමුණු රජතුමා මියපරලොව ගියා වගේ දෙවන ඩිස්නිලන්තය හෙවත් ඕලන්ඩෝ ඩිස්නි වර්ල්ඩ් එක හදන්නට කලියෙන් වෝල්ටර් ඩිස්නි මළා. ඒත් ඔහුගේ නම සදාතනික විදිහට තියන්න ඔහුගේ මේ ඩිස්නිලන්තය හේතු වුණා.

 

 

6. ඩිස්නිලන්ත ශාඛා

ෆ්ලොරිඩා වල ඕලන්ඩෝ ඩිස්නිවර්ල්ඩ් පාක් එක 1971දි විවෘත වුණා. ඩුබායි වල ඩිස්නිලන්තයත් පටන් ගත්තේ 1970 කාලයේදි. ජපානයේ තෝකියෝ ඩිස්නිලන්තය 1983 දී විවෘත වුණා. ඒ වගේම 1992 දී පැරිස් වල ඩිස්නි පාක් එක යුරෝ ඩිස්නි නමින් පටන් ගත්තා. 2005 දී හොංකොං ඩිස්නිලන්තය පටන් ගත් අතර දැන් ෂැන්හයි වලත් ඩිස්නිලන්තයක් තියෙනවා. චීනයේ තිබෙන ඩිස්නිලන්තය ඉඩකඩ අතින් පොඩ්ඩක් මදි වුණත් ඒ අත්දැකීම දුර්ලභ නිසා චීන ජනතාව පොදි ගැහිලා මේ ඩිස්නිලන්තය නරඹන්න යනවා නිවාඩු දවස්වලට. 

 

7. ඩිස්නි රිසෝට්

ඩිස්නිලන්තය ජනප්‍රිය වීමත් එක්ක ඩිස්නි රිසෝට් කියන සංකල්පය ජනප්‍රිය වුණා. එහිදී ඇවිත් පාක් එක බලලා ඉක්මනින් යනවාට වඩා විවේකය ගතකරන්න තැනක් ඩිස්නි විසින් සලසා දුන්නා. ඒ වගේම වටේ පිටේ තිබෙන හෝටල් වල තත්ත්වය වැඩිදියුණු කරලා ඩිස්නිලන්තය විවේකීව දැකබලාගන්න අවස්ථාව මහජනයාට සලසා තිබෙනවා. මේ රිසෝට් වල සුවිශාල වාහන ගාල් කිරීමේ පහසුකම් ආදියත් සපයා තිබෙන නිසා මේවා වෙත විවේකය ගතකරන්න එන ජනයාට වඩාත් පහසුයි.

 

ඩිස්නිලන්තය කියන එක ඇත්තටම වචන වලින් විස්තර කරන්න බැරි, විඳගත යුතු අත් දැකීමක්. සතුන්, ඇඩ්වෙන්චර් අත්දැකීම්, විවිධ දර්ශන, කරත්ත වල සහ කුඩා දුම්රිය ගමන් ආදී විශේෂාංග රැසක් ඩිස්නිලන්තයේදි විඳගන්නට තියෙනවා. ටිකක් මිලාධික වුණත් ඩිස්නිලන්ත අත්දැකීමක් ලබාගන්න එක ජීවිතේට හොඳ මතක සටහනක් වේවි. ඩොලර් බිලියන ගාණක ආයෝජනයක් වන ඩිස්නිලන්තයක් අලුතින් තැනීමේ කතිකාවක් පහුගිය දිනක ලංකාවෙත් ඇති වුණා. ඒත් වියදම සහ ටිකට් මිල එක්ක බලද්දි ඔරිජිනල් ඩිස්නිලන්තයක් නම් ලංකාවේ ඇතිවෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.

W. Chamuditha Osanda

Basic steps in starting a high-quality unique website aimed at local and foreign users that includes information from home and abroad that can be easily used using modern technology.

Post a Comment

Previous Post Next Post